බස් රථයක ගමන් ගත් කාන්තාවක සතු මුදල් පසුම්බිය සොරාගෙන එම මුදල් පසුම්බියේ තිබූ බැංකු කාඩ්පත උපයෝගී කරගෙන කටුගස්තොට නගරයේ පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයකින් රුපියල් එක්ලක්ෂ අනූදහසක මුදලක් ලබාගත් පුද්ගලයකු හා එම සොරකමට අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.. කටුගස්තොට පොලීසිය විසින් මෙලෙස සැකකරුවන් අත්ඩංගුවටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ..
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, බස් රථයක් තුළදී තම මුදල් පසුම්බිය කිසිවකු විසින් සොරාගෙන එම මුදල් පසුම්බියේ තිබුණු බැංකු කාඩ්පතින් කටුගස්තොට නගරයේ පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයකින් රුපියල් එක්ලක්ෂ අනූදහසක මුදලක් ලබාගෙන ඇති බවට එම කාන්තාව කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර තිබෙනවා.. එහිදී කටුගස්තොට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කාන්තාවගෙන් සොරාගත් බැංකු කාඩ්පතින් මුදල් ලබාගත් බව පැවසෙන ඒ.ටී.එම්. යන්ත්‍රය අවට පිහිටි සීසීටීවී කැමරා පරීක්ෂාවට ලක්කර සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන තිබෙනවා..
ඉන්පසු එක් සැකකරුවකු මහනුවර සිට මඩකළපුව දක්වා ධාවනය වන බස් රථයකදී හා අනෙක් සැකකරු කටුගස්තොට මැණික්කුඹුරවත්ත ප්‍රදේශයේදී පෙරේදා (03) අත්අඩංගුවට ගෙන තිබූ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් තොරතුරු මත ඔවුන් දෙදෙනා විසින් සොරාගත් මුදල් පසුම්බිය කටුගස්තොට මහපල්ලියට අයත් සුසාන භූමියේ දමා තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ..
එම මුදල් පසුම්බියේ තිබී කාන්තාවට අයත් රියැදුරු බලපත්‍රය, ජාතික හැඳුනුම්පත හා ඇය රාජකාරි කරන ස්ථානයෙන් නිකුත් කළ හැඳුනුම්පත ද හමුවී ඇති අතර එම පසුම්බියේ තිබුණු රුපියල් දෙදහසක මුදලක් ද සැකකරුවන් විසින් සොරාගෙන තිබෙනවා..
දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින මේ සැකකරුවන් දෙදෙනා බස් රථවල ගමන් ගන්නා කාන්තාවන්ගේ මුදල් පසුම්බි සොරකම් කරන අයවලුන් බවටත් මීට පෙර ද මෙවැනි සොරකම්වලට සම්බන්ධ බවට පැමිණිලි ලැබී තිබෙන බව ද පොලීසිය සඳහන් කරන්නේ.. 30 හා 23 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් දෙදෙනා ඊයේ (04) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා..



















