ඩි ජේ සංගීතයකදී පෙම්වතා සමඟ නර්තනයේ යෙදෙමින් විනෝද වෙමින් සිටි ස්පාඤ්ඤ ජාතික රූමත් තරුණියකට ලිංගික අතවර කර පහරදුන් සංචාරක මඟ පෙන්වන්නන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
31 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික තරුණිය ඉකුත් 30 වැනිදා සිය පෙම්වතා සමඟ මෙරට සංචාරයක් සඳහා කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයට පැමිණ එහි හෝටලයක නවාතැන් ගෙන කල්පිටිය කුඩාව ප්‍රදේශයේ හෝටලයක පැවති ඩි ජේ සාදයක් සඳහා රාත්‍රී 10.30 ට පමණ සහභාගි වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
එම සාදයට විදේශිකයන් සහ මෙරට තරුණ පිරිසක්ද සහභාගි වී ඇති අතර සියලුම දෙනා ඩි ජේ සංගීතයට විනෝද වෙමින් නර්තනයේ යෙදී ඇති බවට තරුණිය සිය පැමිණිල්ලෙන් දක්වා තිබූ බව පොලිසිය පවසනවා.
පසුව එහි සිටි තරුණයන් පිරිසක් නර්තනයේ යෙදෙමින් සිටි තමා අසලට පැමිණ සිරුර ස්පර්ශ කරද්දී තමන් එයට විරෝධය පෑ බවත් එහිදී තරුණයින් පිරිස තමාට පහර දුන් බවත් විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්.
එම පහර දීමෙන් තමාගේ වම් ඇසට ඉහළින් තුවාල සිදුවූ බවත් පුත්තලම පෞද්ගලික රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ලේ දක්වා තිබුණා.
එසේම තමන්ට පහර දුන් බව කියන තරුණයින් තිදෙනාගේ නම් ද සඳහන් කරමින් මෙම තරුණිය ලිඛිතව පැමිණිල්ලක් ඉකුත් 31 වැනිදා කල්පිටිය පොලිසියට කර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
ඒ අනුව විමර්ශන පැවැත්වූ කල්පිටිය කන්ද කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23,34,39 අතර වයස්වල පසුවන සැකකරුවන් තිදෙනා අත්අඩංගුවටගෙන තිබුණා.
සැකකරුවන් කල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමටට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.


















