ගම්පහ දිස්ත්‍රික්කයේ නගරබද ප්‍රදේශයක ජීවත්වන අවුරුද්දකුත් මාස තුනක් වයසැති පිරිමි දරුවකුට ඔහුගේ මියගිය මුත්තණුවන් හෙවත් පියාගේ පියාගේ බැල්ම වැටී ඇතැයි පැවසෙන පුවතක් මීට කලෙකට ඉහත මට අසන්නට ලැබිණ. එම තොරතුරින් පැවසුණේ ඒ බිලිඳු දරුවාගේ මුත්තණුවන් අදෘශ්‍යමානව පැමිණ බිලිඳාගේ ගෙල සිර කරන බවකි. එවිට ඒ දරුවා දරුණු වේදනාවකට පත්ව උගුරෙන් අමුතු හඬක් නංවමින් හඬා වැටෙන බව ද පැවසිණ.
මාතර ප්‍රදේශයේ ඉපිද හැදී වැඩී ඒ ප්‍රදේශයේ ප්‍රමුඛතම විද්‍යාලයකින් ඉගෙනුම ලැබූ අපට දුරින් ඥාති සබඳතාවක් ද ඇති බිලිඳු පුතුගේ පියා මේ වනවිට නාවිකයකු වශයෙන් රැකියාව කරයි. මීට සය වසරකට පෙර ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණියක හා විවාහ වී එම ප්‍රදේශයේම මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයකින් නිවසක් මිලට ගෙන තිබේ.
බිරිඳගේ මව ජීවතුන් අතර නොමැති නිසා නව නිවස මිලට ගැනීමෙන් පසු ඇගේ තනි නොතනියට ළඟ හිඳ ඇත්තේ සැමියාගේ මව ය. එමෙන්ම ඇය තම කුළුඳුල් දරු උපත සිදුකරනවිට සැමියා මහ සයුරේ නාවික වෘත්තියේ යෙදී සිටි බැවින් ඒ කටයුතු සොයා බලා සිදුකර ඇත්තේ ද සැමියාගේ මව විසින්ම ය.
සැමියා නැවත සමුදුරු ජීවිතයෙන් මිදී මව්බිමට පැමිණෙනවිට බිලිඳාගේ වයස මාස හයකට ළංව තිබිණ. ඉන්පසු ඔහු යළි නැව් නැඟ ඇත්තේ බිලිඳාගේ පළමු උපන්දින උත්සවය සැමරීමෙන් මාසයකට පසුව ය. ඒ දක්වා දවසේ මුළු කාලයම තම බිලිඳු පුතු සුරතල් කිරීමට ඔහුට හැකි වී ඇත්තේ තමන් මව්බිමට පැමිණීමත් සමග මව මාතර මහගෙදර පදිංචියට යෑම නිසා ය.
ඔහු අවසන් වරට නැව් නැඟීමට පෙර නව නිවසේ ඉවුම් පිහුම් සහ බිලිඳු දරුවා බලාගැනීම පිණිස ගෘහ විශ්වාසවන්ත සේවිකාවකගේ අවශ්‍යතාව මතුවී තිබුණ ද එවැන්නියක සොයාගැනීමට නොහැකි වී ඇත. ඉන්පසු තරුණ බිරිඳට ඇගේ නිවස වසා දමා කුඩා දරුවා ද සමග මාතර මහ ගෙදරට යෑමට සිදුව ඇත්තේ සැමියාගේ මව ඇතුළු ඒ පවුලේ ඥාතීන්ගේ පෙරැත්ත නිසා ය.
මාතර ගෙදරට අරන් ගිය දවසේ ඉඳලා පුතා එහෙම් පිටින්ම වෙනස් වුණා. ඊට පහුවෙනිදා ඉඳලම හුස්ම හිරවෙන ගතියක් තිබුණා. ඒ එක්කම හැම තිස්සෙම හොටු ගලන්න පටන් ගත්තා. පුතා හිටපු ගමන් ලොකු බයකින් වගේ අමුතුම විදිහකට ගෙදර වටපිටාව බලනවා. ඊට පස්සෙ යටිගිරියෙන් බෙරිහන් දෙනවා. අපි සති දෙක තුනක් තිස්සෙ පුතාව ඩොක්ටර්ස්ලා කීපදෙනකුටම පෙන්නුවා. ඒ අය බෙහෙත් දුන්නා. නමුත් පුතාගේ තත්ත්වය එන්න එන්නම වැඩි වුණා මිසක් කිසි අඩුවක් වුණේ නැහැ. එම බිලිඳාගේ මව දුරකතනයෙන් මා හා කියා සිටියාය. පසුව තම දරුවාගේ රෝගී තත්ත්වය නිරන්තරව පැවතීම මත සිය නැන්දණිය ශාස්ත්‍ර ඇසීමකට ගොස් ඇති අතර, එම නිවසට මියගිය ඥාතියකුගේ බැල්ම වැටී ඇති බවත් පවුලේ එක්තරා සාමාජිකයකු තමන් වෙතට ඇද ගැනීමට ඒ මියගිය ඥාතියා වෙහෙසෙන බවත් ඒ ශාස්ත්‍රයට කියැවී තිබේ. පසුව ඒ ප්‍රාණකාරයා මීට වසර කිහිපයකට ඉහත මියගිය තම සැමියා බවත් ඔහු තමන් සමීපයට කැඳවාගැනීමට වෙර දරන තම පවුලේ සාමාජිකයා ඒ බිලිඳු දරුවා බවත් නැන්දණිය තම ලේලියට කියා ඇත. එය එම බිලිඳාගේ මවට කෙබඳු මානසික බලපෑමක් සිදු වී ද යන්න අමුතුවෙන් කිව යුතු නැත.
මේ වනවිට මළ යකෙකු වී සිටින බිලිඳාගේ මියගිය මුත්තණුවන් මන්ත්‍ර බලයෙන් බැඳ මහ මුහුදට දැමීම පිණිස තොවිලයක් කළ යුතු බවට සියල්ලන්ම තීරණය කරන ලද්දේ ඒ අනුවය. ඒ වනවිට තොවිලයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් ලක්ෂ අටක්, දහයක් විය හැකි බවට ගණන් බලා තිබිණ.
ඔය අතරවාරයේ අමනුෂ්‍ය දෝෂය සම්බන්ධ යම් අර්ථකථනයක් දිය හැකිද? යනුවෙන් එම පවුලේ ඥාතීන් වෙතින් මම කළ ඉල්ලීමකට අනුව නිවස සම්බන්ධ ස්ථානීය පරීක්ෂාවක් සඳහා ඊට පසු දිනයක මාතර ගියෙමි. මා එම නිවසට පිවිසි මුල්ම වතාව ද එය විය. එය මීට පනස් වසරකට පමණ පෙර ඉදිකොට ඇතැයි සැලකිය හැකි පැරණි නිවසකි. පරිසරය එතරම් නාගරික නොවුවද අවට පරිසරයේ තුරුලතා දුලබ වීම හා අවට සිදුවෙමින් තිබූ මහා පරිමාණ පස් කැපීමක් මත හාත්පස නිතර දුහුවිලි නැංවෙන තත්ත්වයක් මට නිරීක්ෂණය කළ හැකි විය. එමෙන්ම එම බිලිඳු දරුවා රඳවා තිබුණේ ද නොයකුත් බඩු මුට්ටු හෙවත් ලට්ට ලොට්ටවලින් පිරීගත් කාමරයකය. වයස මාස හයේ සිට අවුරුද්ද තෙක් කාලයක් තිස්සේ තම පියාගේ රූපයට, කට හඬට හුරුවී සිටි එම දරුවාට එක්වරම එය අහිමි වීමත්, ඒ සමගම පිරිසිදු වාතාශ්‍රයක් සහිත නවීන නිවසක අවුරුද්දකට වැඩි කාලයක් ජීවත් වූ ඔහු එක්වරම දුහුවිලි ආදියෙන් පිරීගත් පැරණි නිවසක විසීමට සිදුවීමත් මත ඔහුට වින කරන ඒ ‘මළගිය ප්‍රාණකාරයා’ අනුමාන වශයෙන් හඳුනාගැනීමට මට හැකි විය. ඊට හේතුව මෙබඳු ගුප්ත උවදුරු ඇතැයි පැවසෙන ස්ථාන බොහොමයක පාරිසරික සාධක විමසීම ද ම විසින් සිදු කරන බැවිනි.
ළමා රෝග සහ ආසාත්මිකතා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ දිගු කලෙක සිට මා හා කුළුපග ඇසුරක් පවත්වන හිතවතෙකි. එබැවින් එම මාතර නිවසේ සිටම ඔහුට දුරකතන ඇමැතුමක් දුන් මම ඒ අමනුෂ්‍ය දෝෂයට ඉවහල් වන යථාර්ථවාදී පසුබිම ඔහුට විස්තර කළෙමි.
අපොයි, අපොයි… කවුරු වුණත් අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් ඔහොම සල්ලි ගරන එක මොන අපරාධයක්ද? කැමැති නම් ඔය ළමයව මගේ ළඟට අරන් එන්න කියන්න. මම ඔය ලෙඩේට හේතු විස්තර කරලා දීලා කරන්න ඕනෙ දේවලුත් කියලා දීලා බෙහෙතුත් දෙන්නම්. ඕනෙ නම් මම යකාට කියන්නම් කියන්න කට්ටඩියෙක් නොවුණත් මාත් මාතර මිනිහෙක් කියලා. වෛද්‍ය අජිත් අමරසිංහ සිනාසෙමින් කීය.
“කෙසේ හෝ මේ සිදුවීමට දැන් කලක් ගත වී ඇති අතර ඉන් පසුව එම වෛද්‍ය ප්‍රතිකාරවලින් කිසිදු තොවිල් කිරීමකින් තොරව එම බිලිඳා සුවය ලබා ඇතැයි එම පවුලේ ඥාතීහු මා හා කීහ.” අපි මූණ දෙන ප්‍රශ්න ගැටලු අර්බුදවලට මොනම විදිහකින් වත් මළවුන් සම්බන්ධ වෙන්නේ නෑ. ඒ හින්දා මේ ලෝකේ ප්‍රශ්නවලට නොපෙනෙන පරලොවකින් විසඳුම් හොයන්න එපා. අනික කවුරු මොන විදිහට කළත් මළවුන්ට අපහාස කිරීමත් බරපතළ අපරාධයක්” අවසානයේ ඔවුනට පිළිතුරු ලෙසින් මම කීවෙමි.
තිලක් සේනාසිංහ
















