BREAKING NEWS
Search

මාව ඉඹලා දුවලා ගිහින් වෑන් එකට නැග්ගේ ආයෙ එන්නෙ නැති වෙන්න ද මගේ සුදු මැණිකේ – කුලියාපිටිය පාසල් වෑන් අනතුරින් මිය ගිය මිහිදිගේ මව හඬා වැටෙමින් කියන කතාව…

8518

උදෙන්ම බත් කවලා කෑම එක බෑග් එකට දානකොට මාව ඉඹගෙන ඉඹගෙන දුවලා ගිහින් වෑන් එකට නැග්ගේ ආයෙ එන්නෙ නැති වෙන්න ද මගේ සුදු මැණිකේ. 

එහෙම දන්නවා නම් ඔයාව ඉස්කෝලේ යවන්නේ නැහැ රත්තරනේයි” කියමින් කුලියාපිටිය පාසල් වෑන් හා ටිපර් රථ අනතුරෙන් මියගිය මිහිදි යෙනායා නිල්නෙතු දියණියගේ මව සොනාලි දිසානායක මහත්මිය හඬා වැටුණාය.

මේ සතියේ තිබෙන කට්ටි මහන පල්ලිය මංගල්ල්‍යයෙන් මොනවද ඕනෑ කියූ විට ලොකු බෝනික්කෙක් අරන් දෙන්න කියපු මගේ මැණික ඇයි හොරා ගත්තේ යැයි ඇයගේ විලාපය කිසිවකුට අසා සිටින්නට නොහැකිය.

ඉකුත් 27 වැනි දින උදෑසන කුලියාපිටිය මාදම්පේ ප්‍රධාන මාර්ගයේ උඩු බද්දාව වල්පොළ මංසන්ධියේ පාලම මත දී සිදුවූ පාසල් වෑන් රථ අනතුරෙන් මියගිය මිහිදි යෙනායා නිල්නෙතු දියණියගේ මව වන සොනාලි දිසානායක දියණිය මිය යෑමේ පුවත අසා දැඩි කම්පනයට පත්ව සිටියි. හඬා වැලපෙමින් ඇය කියන කතා අසා සිටින්නට බැරි තරම්ය.

ඥාති හිතවතුන් අවට සිටින පිරිස් විශාල පිරිසක් ඔවුන් පදිංචි නි‍ෙවසට පැමිණ සිටියහ. ඒ සියල්ලෝම කිසිත් කර කියා ගත නොහැකිව නිසොල්මන්ව බලා සිටියේ මවත් පියාත් සිය දුවගේ වියෝව දරා ගත නොහැකිව නි‍ෙවසේ සාලය මත වැතිරෙමින් නඟනා ශෝකාලාප නිසාවෙනි.

අසල සිටි පිරිස මිහිදි යෙනායාගේ මව ආයාසයෙන් ඔසවා පුටුවක් මත හිඳුවනවාත් සමඟ ඇය කතා කරගැනීමට තරම් ශක්තියක් නැතිව හීන් කෙදිරියෙන්. . . . . ’’ඔයාලා මාව බලන්න ආවා නේද?ඇයි දුව එක්ක ආවෙ නැත්තේ. . . . . මගෙ හුරතලී නැතිව අපි කොහොමද ගෙදර ඉන්නේ. . . . . . . කියමින් ළඟ සිටි අයකුගේ උර හිස මතට කඳුලින් තෙත්ව තිබූ මුහුණ තබනවාත් සමඟ අසල සිටි සියල්ලන්ගේම දෑස් කඳුළින් තෙත් වී ගියේය. මිහිදි යෙනායා දියණියගේ වයස අවුරුදු දහතුනයි.

ඇය කුලියාපිටිය සුරදූත බාලිකා මහා විද්‍යාලයේ අට වසරේ ඉගෙනුම ලබමින් සිටියාය. ඉගෙනුමට මෙන්ම විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරකම්වලදී දක්ෂතා දැක්වූ ඇයට පදිංචි ගමේ කවුරුත් ආදරය කළේය.

මිය­ගිය මිහිදි යෙනායා මවු­පි­යන් හා සොහො­යුරා සමඟ කට්ටිමහන ප්‍රාථමිකයෙන් අධ්‍යාපනය හදාරමින් සිටියදී පහවසර ශිෂ්‍යත්වය සමත් වී ඇය කුලියාපිටිය නගරයේ ජනප්‍රිය පාසලක් වන සුරදූත බාලිකා මහා විද්‍යාලයට යොමු කළේ මවුපියන් දහසකුත් බලාපොරොත්තු සිතේ දරාගෙනය.

මාර්ගයේ ගමන් ගන්නා බස් රථයක පාසල් ගමනට යොමු නොකළේ ඇයට තිබෙන්නා වූ අසීමිත සෙනෙහස ආදරය නිසාවෙනි. සෑම දිනකම උදෑසන නි‍ෙවස අසලට වෑන් රථය පැමිණි පසු මව ඇය වෑන් රථයට කැටුව යන්නේ දහසකුත් බලාපොරොත්තු කර පින්නා‍ෙගනය.

සිද්ධිය වූ දිනද මෙලෙස වෑන් රථයට ඇයව මව විසින් ගොඩ කළේ කිසිම කරදරයක් නොවේවායි සිතා විය හැකිය. ඇයගේ පියා ජනිත් වර්නජිත්ය.

මියගිය මිහිදි යෙනායාට එක් සොහොයුරෙක් සිටියි. ඔහුගේ වයස අවුරුදු 18කි. ජනිත් වර්නජිත් විවාහයෙන් පසු කෙටි කාලයක් විදේශ ගතව සිට මීට වසර කීහිපයකට පෙර පැමිණ සුළු ව්‍යාපාරයක් පටන් ගත්තේය. දරුවන් දෙදෙනා තනිකර නැවත විදෙස්ගත නොවීමට තීරණය කළේ දරුවන්ට මවගේ මෙන්ම පියාගේ සෙනෙහස ආදරය ලැබිය යුතු බව ඔහු සිතූ හෙයිනි.

එහෙත් ඔහුගේ බලාපොරොත්තු සුන්ව ගොසිනි. තාත්තා කෙනෙකු හිතට නැගෙන දුක ඉවසා දරා ගන්නේය. දුකින් හඬා වැලපෙන්නේ කලාතුරකිනි. අදහා ගත නොහැකිව නොසිතූ ලෙස සිදුවීමේ කම්පනයෙන් හදවතේ නැඟෙන දෝංකාරය මියගිය මිහිදි යෙනායා දියණියගේ පියාගේ මුවින් පිටවෙද්දී අන් අයගේ දෙනෙත් නිරායාසයෙන් කඳුලින් තෙත් විය.

සියල්ලන්ගේම සුසුම් මැද ඔහුන්ගේ අවසන් කටයුතු පසුගියදා සිදුවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *