රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
තිරිංග දෝෂයක් හේතුවෙන් බසයක් පසුපසට ධාවනය වී පෙරළීමෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වළකාගනිමින් මගීන් 30දෙනකුගේ පමණ ජීවිත බේරා ගැනීමට 27 දා සවස බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස් රථයක සේවය කරන රියැදුරු හා කොන්දොස්තර මහත්වරු දෙපළක් සමත් වූහ.
බදුල්ල නගරයෙන් පිටත්ව දෙමෝදර, බැද්දේවෙල හරහා බල්ලාකෙටුව නගරය දක්වා ධාවනය වෙමින් තිබූ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස් රථයක ගමන් ගත් මගී පිරිසක් මෙම අත්දැකීමට මුහුණ දුන්හ.
බණ්ඩාරවෙල ඩිපෝවේ සේවය කරන ආර්. ඩී. සුමින්ද කරුණාරත්න නමැති රියැදුරු මහතා සහ එම බසයේ කොන්දොස්තර ලෙස සේවය කළ ආර්. ඩී. ජයවර්ධන මහතා මෙම ක්‍රියාවට දායක වූහ.
බදුල්ල දෙමෝදර, බැද්දේවෙල හරහා බල්ලාකෙටුව නගරය දක්වා දිවෙන මාර්ගයේ බැද්දේවෙල බටත්තවල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවිය. බස් රථය පටු වංගු සහිත කඳුකර මාර්ගයේ ඉහළට ගමන් කරමින් තිබියදී එක්වරම බස් රථය නතර වී ඇත. බසයේ කිසියම් තිරිංග දෝෂයක් ඇති බව ඉවෙන් මෙන් වටහා ගත් රියැදුරු බස් රථය නවතා එය පසුපසට ධාවනය වීමට ඉඩ නොදී බස් රථයේ සියලුම මගීන්ට කලබල නොවී එයින් බැස ගන්නා ලෙස උපදෙස් දී ඇත.
ඒ අනුව බස් රථයේ සිටි මගීන් සියලු දෙනාම පාහේ බැස යනවාත් සමගම බස් රථයේ තිරංග පද්ධතියට අදාළ නළයක් පුපුරා ගොස් බස් රථය රියැදුරුගේ පාලනයෙන් මිදී කඳුකර මාර්ගයේ පසුපසට මීටර් 50 ක් පමණ ධාවනය වීමට පටන්ගෙන ඇත. කෙසේ හෝ රියැදුරු එය වේල්ලකට අල්ලා නතරකර ගන්නට සමත්ව ඇත. බස් රථයේ කොටසක් මාර්ගයෙන් ඉවතට යන ලෙස වේල්ලක හැපී බසය නතර වී ඇත. බස් රථයට පමණක් සුළු හානි සිදුව ඇතත් කිසිදු මගියකුට සීරීම් තුවාලයක් හෝ සිදුව නැත.
බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු නොකළේ නම් ඒ වන විටත් බස් රථයේ ගමන් ගත් තිහකට ආසන්න මගී පිරිසත් සමග බස් රථය පසු පසට ධාවනය වී පහළින් පිහිටි ප්‍රපාතය වෙත පෙරළි ගොස් විශාල ඛේදවාචකයක් වීමට ඉඩ තිබූ බව බස් රථයේ ගමන් ගත් මගීහු පැවසූහ.
කන්දකැටිය ජී චතුරංග



















