BREAKING NEWS
Search

සුරධූතයේ සිසුවියන් දෙදෙනාටත්, රියදුරුටත් මරු කැඳ වූ කුලියාපිටියේ මාරක අනතුර ගැන ඇහෙන, හද සසල වෙන කතාව…

9703

මේ අද උදෑසන සිදු වූ මාරක අනතුර ගැන ඇහෙන අනුවේදනීය කතාව…

කුලියාපිටිය විලපොළ මංසන්ධියේ පල්ලේවෙල පාලම මතදී ටිපර් රථයක් හා පාසල් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අද උදෑසන සිදුවූ අනතුරකින් සිසුවියන් දෙදෙනෙකු හා වෑන් රථයේ රියදුරු අවාසනාවන්ත ලෙස මිය ගියා.

තුවාල ලැබූ සිසු සිසුවියන් 13 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසු වෙනවා.

කුලියාපිටිය පොලිසිය පැවසුවේ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පාසල් වෑන් රථය දුම්මලසූරිය ප්‍රදේශයේ සිට කුලියාපිටිය දක්වා පැමිණ තිබු අතර වැලි පැටවූ ටිපර් රථය ධාවනය කර තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේ සිට, වෑන් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවටයි.

අනතුරත් සමග එම ස්ථානයට පැමිණි පොලිසිය සහ ජනතාව තුවාල ලැබූ සිසුන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගත් අතර ප්‍රතිකාර සඳහා ඔවුන් රැගෙන ගොස් තිබුණේ කුලියාපිටිය ශික්ෂණ රෝහලටයි.

අනතුරින්, වයස අවුරුදු 12ත් 13ත් අතර වයස්වල පසුවන සිසුවියන් දෙදෙනෙකු මිය ගිය අතර අනතුරින් මියගිය අනෙක් පුද්ගලයා වන්නේ වෑන් රථයේ රියැදුරු ය.

ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබුණා.

අනතුරින් තුවාල ලැබූ සිසු සිසුවියන් 13 දෙනාගෙන් 9 දෙනෙකු මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

එක් සිසුවියක් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට ද පියවර ගෙන තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *