BREAKING NEWS
Search

ඉවසාගත නොහැකි වූ චොක්ලට් කෑමේ ආසාව මරණයකින් කෙලවර වෙයි – පේරාදෙණියෙන් ඇහෙන පුදුම හිතෙන කතාවක්

1982

චොකලට් කෑමට හුරුවූ හැටහත් හැවිරිදි වයෝවෘද්ධ අයකු ආසාව ඉවසා ගැනීමට නොහැකිව මුදල් නොමැති අවස්ථාවක පේරාදෙණිය නගරයේ වෙළෙඳ සලකින් කුඩා චොකලට් එකක් සොරා ගත්තැයි වෙළෙඳසල් හිමියන් එම පුද්ගලයා වෙළෙඳසල තුළට ගෙන දරුණු ලෙස යකඩ පොලු‍වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ පවත්වා එම වෙළෙඳසලේ දෙදෙනකු පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ජීවිතය අහිමිව ඇත්තේ පේරාදෙණිය පහළ ඊරියගම පදිංචි ධර්මසේන කුරේ නමැති දෙදරු පියකුගේය.

සිය දරුවන් දෙදෙනා විවාහ වූ පසු තම බිරිඳ සමග හුදකලාව සිටින මොහු අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැනීම සඳහා පේරාදෙණිය නගරයට යාම සිදුකරන බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

ඒ ආකාරයට නගරයට යන මොහු මුදල් තිබෙන සෑම අවස්ථාවකම කුඩා චොකලට් එකක් දෙකක් ගෙන ඔහුත් අනුභව කර බිරිඳටත් රැගෙන යාම සිදුකර තිබේ. මේ ආකාරයට පසුගිය දා සවස පේරාදෙණිය නගරයට ගොස් එසේ ආහාර ද්‍රව්‍ය

ගනිමින් සිටියදී අසල වෙළෙඳ සලක දෙදෙනකු පැමිණ පෙර දවසක චොකලට් සොරා ගන්නා බව කැමරාවේ ඇතැයි පවසා එම පුද්ගලයා ඔවුන්ගේ වෙළෙඳ සලට ගෙන කාමරයකට දමා සිර කර දරුණු ලෙස පහරදී තිබේ.

අතින් පයින් පහර දීමට අමතරව යකඩ පොලු‍ හා සපත්තු දැමූ පා පහර එල්ල කිරීමෙන් මොහුගේ හිස පැලී තිබූ අතර දකුණු කකුල ද බිඳී ගොස් තිබිණි.

ඉන්පසු රාත්‍රී වන තුරු ඔහු එම වෙළෙඳසල තුළ සිරකර තබාගෙන රාත්‍රී වෙළෙඳසල වසන අවස්ථාවේ මොහු එළියට දමා වෙළෙඳසල වසා මොවුන් පිටව ගොස් තිබේ.

වෙළෙඳසල එළියේ සිහිසුන්ව එළිවනතුරු මොහු වැටී සිටියදී උදෑසන හතට පමණ ඒ අසලින් ගිය කාන්තාවක මෙම පුද්ගලයා හඳුනා ගෙන තුවාල වී සිටි ආකාරය දැක සුවසැරිය ගිලන් රථයක් මගින් මොහු රෝහල් ගත කර ඒ බව මොහුගේ එක් පුතකුට දුරකථනයෙන් දන්වා තිබේ.

පසුව ප්‍රතිකාර ලබමින් රෝහල් ගත වී සිටි මොහුගෙන් පේරාදෙණිය පොලිසිය කට උත්තරයක් ද ගෙන ඇත. එහිදී මෙම පුද්ගලයා පහර කෑ ආකාරය හා මෙම චොකලට් සිද්ධිය අනාවරණය කර ඇත.

පසුව ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයා පසුගිය 11 දා රාත්‍රී මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා මේ පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ඩී.පී.පී. සේමසිංහ මහතා මෙහි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (62274) ඇල්ලේවල මහතා මෙහි සාක්ෂි මෙහෙයවීය.

මෙහි පරීක්ෂණ අනුව මෙම වෙළෙඳසල පවත්වාගෙන ගිය හිමිකරු හා ඔහුගේ සහායකයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

ගම්පොළ -සුරංග දිල්හාන් හා පේරාදෙණිය ලලන්ත වන්නිආරච්චි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *