ඓතිහාසික දළදා පෙරහර ඉතිහාසයේ අලුත් පරිච්ජේදයක් පෙරළමින් එහි මුලින්ම ගමන් ගන්නා නර්තන කණ්ඩායම් අතර ඇති රබන් නර්තන කණ්ඩායමේ සාමාජිකයකු ලෙස විශේෂඥ වෛද්‍යවරයකු ද එක්ව සිටියි.
දැනට පොලොන්නරුව ජාතික රෝහලේ සහ වකුගඩු විශේෂිත රෝහලේ විකිරණ වෛද්‍ය විශේෂඥ ලෙස සේවය කරන 48 හැවිරිදි එස්.අයි. සුසන්ත ඉන්දික මහින්දවංශ මහතා එසේ සිය දක්ෂතාව පෙන්වමින් පෙරහරේ නර්තනයේ යෙදෙයි.
ඔහුගේ කලා මංගල්‍යය පසුගිය මස 27 වැනි දින පැවෙති අතර අපේ රටේ විශේෂඥ වෛද්‍යවරයකු මේ වනතුරු මෙලෙස වෙස් බැඳ කලා මංගල්‍යයක් පවත්වා නොතීබීම විශේෂත්වයකි.
එමෙන්ම සිය දරුවන් දෙදෙනා ද පියාට කලින් වෙස් බැඳ එකම වේදිකාවේ එදින පියා සමඟ නර්තන දක්ෂතා පෙන්වීමක් මේ දක්වා සිදුනොවීම ද තවත් විශේෂත්වයකි. එමෙන්ම ඔහුගේ බාල පුතණුවන් ද පියා සමඟ නර්තනයේ යෙදීම ද ඉතිහාසගත වන්නකි.
මෙවර දළදා පෙරහරේ රබන් නර්තනයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයා දැනට නැටුම් අධ්‍යාපනයේ යෙදෙන්නේ මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලයේ ප්‍රවීණ සුරුබා ගුරුන්නාන්සේගේ පුතණුවන් වන ශ්‍රී ලංකා යුද හමුදාවේ සෞන්දර්ය අංශය භාරව කටයුතු කරන මේජර් ජනරාල් ජනක ප්‍රශාන්ත රාජපක්ෂ මහතා යටතේය. එතුමා මෙවර දළදා පෙරහරට රබන් නර්තන කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති අතර, එම කණ්ඩායමේ විශේෂඥ වෛද්‍යවරයා සහ බාල පුතණුවන් නර්තනයේ යෙදෙයි.
සිය පුතණුවන් දෙදෙනාත් මේ වසරේ අප්‍රේල් මාසයේ හිස වෙස් පාසලේදී බැඳීය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන අංකලක මහින්දවංශ සහ 8 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක් වන බාල පුතණුවන් වන වාගිස් ලේසර මහින්දවංශ යනු එම පුතණුවන් දෙදෙනාය.
වෛද්‍යවරයා සතු තවත් සුවිශේෂී තත්ත්වයක් වන්නේ මෙම වෛද්‍යවරයා පාසල් කාලයේ නර්තනය ඉගෙන ගෙන ඇත්තේ මෙරට ඉතා ප්‍රසිද්ධියක් උසුලන මහනුවර දළදා පෙරහරේ දියවඩන නිලමේ ඉදිරිපිට නර්තනයේ යෙදෙන සුරසේන පරම්පරාවේ ප්‍රධාන කලාකරුවා වන පීටර් සූරසේන මහතා යටතේය.
අද මෙන් පහසුකම් නොවූ කාලයක හෙම්මාතගම දේවි බාලිකා මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදරා මහනුවර ශාන්ත සිල්වෙස්ටර් පාසලෙන් උසස් අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා, පශ්චාත් උපාධිය හැදැරීමට කොළඹ වෛද්‍ය විද්‍යාලය වෙත පිවිසි අයෙකි. පසුව වෛද්‍යවරයකු ලෙස දිවයින පුරා රෝහල් රැසක සේවය කරන අතරවාරයේදී විශේෂඥ වෛද්‍යවරයකු බවට පත්ව මේ වන විට පොලොන්නරුව ජාතික රෝහලේ සහ වකුගඩු විශේෂිත රෝහලේ විකිරණ වෛද්‍ය විශේෂඥවරයා ලෙස කටයුතු කරන ඉතා ගුණ යහපත් වෛද්‍යවරයෙකි.
“වෛද්‍යවරු දෙවියෝය” යනුවෙන් පවසන අපේ රටේ බොහෝ දෙනාට සැබෑ දෙවියකු යැයි කිව යුතු මට්ටමේ, රෝගීන් වෙනුවෙන් තම රාජකාරියටත් එහා ගිය සේවයක් කරන වෛද්‍යවරයෙකි. ඔවුන්ට කතා කිරීමේ සිට එහිදී ලබා දෙන උපදෙස් පවා ඔහුගේ මනස සුවපත් කරවන තරමේ අදහස් ඇති අයෙක් වීම විශේෂත්වයකි.
වෛද්‍ය වෘත්තිය වැනි වෘත්තියක යෙදී සිටින විට විශේෂයෙන් නර්තන කලාව වැනි විෂයයක් හැදෑරීමට වේලාව වෙන් කර ගැනීම පවා ඉතා අසීරු කටයුත්තකි. එමෙන්ම විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කලාවට වඩා අමතර මුදලක් සෙවීමට අවශ්‍ය නම් ලක්ෂ ගණනින් සෙවීමට ද කාලය තිබියදී සිය මනස සුවපත් කර ගැනීම පිළිබඳ මෙන්ම කලාවට තිබෙන සිය ආසාව පිළිබඳ අපට විශේෂඥ වෛද්‍ය මහින්දවංශ අපට කීවේ මෙවැනි කතාවකි.
“දළදා පෙරහරේ දිගටම නර්තනයේ යෙදෙන්න බැරි වුණත් අවසන් පෙරහර මංගල්‍යයේ දින කිහිපයක් එක දිගට මම සහ පුතණුවන් නර්තනයේ යෙදෙනවා. මගේ වෛද්‍ය වෘත්තියත් එක්ක එම කටයුතු කරන අතරවාරයේ තමයි මේ කලා කටයුතුවල නිරත වෙන්නේ. මේ කටයුතු කරන්නේ මුදල් බලාපොරොත්තුවෙන් නොවෙයි. කලාවට තිබෙන ආශාව සහ කැමැත්ත නිසා තමයි කරන්නේ. ඒ වගේම මේ කටයුතු කරන මගේ මනසට ලොකු සහනයක් තියෙනවා. ඒ වගේම ඇඟටත් ලොකු සහනයක් ඇති වෙනවා.
මගේ මහ ගෙවල් හෙම්මාතගම තිබුණත්, දැන් මං මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ තමයි පදිංචිවෙලා ඉන්නේ. මම නුවර පාසල් අධ්‍යාපනය හදාරන කාලයේදී සෞන්දර්ය විෂයයක් ලෙස නැටුම් විෂයය හැදැරුවා. ඒ අතරේදී අපේ නැටුම් කණ්ඩායම් බිහි වුණා. අපේ නැටුම් කණ්ඩායම 1994 වසරේදී පීටර් සූරසේන මහතාගේ නායකත්වයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඉන් අනතුරුව තෙන්නකෝන් මහතාගේ ද නායකත්වය යටතේ අපි ගොඩාක් දුර ගමන් කළා. රූපවාහිනියේ ගුරුගෙදර අපි නටලා තියෙනවා. මහනුවර පෙරහරේ නටලා තියෙනවා. උඩැක්කි නර්තන, ගිනි සිසිල විවිධ ක්ෂේත්‍රයන්හි නැටුම් අපට ඉගෙන ගන්න හැකි වුණා.
උසස් පෙළ හදාරනවිට මගේ විෂයය ජීව විද්‍යාවට වෙනස් වුවත් කලායතනය කළ ජනක මගේ යාළුවා. ජනක කියන්නේ ඉසුරුබා ගුරුන්නාන්සේගේ මුණුපුරා. ජනක හරහා මේ කලායතනයට සම්බන්ධ වුණාට පස්සේ එදා ඉඳන් මොන වැඩේ තිබුණත් මෙහි වැඩවලටත් මම සම්බන්ධ වෙනවා. මෑත කාලයේ මගේ පුතාලා දෙන්නත් මේ කලායතනයට සම්බන්ධ කළා. ඒ අනුව මෙතැනට එන්න තිබෙන සම්බන්ධතාව වැඩි වුණා. ඒ අනුව තමයි මේ දක්වා දුරක් ආවේ. අද වෙනකොට මම නර්තනය හදාරන්නේ මාත් එක්ක එකට පාසල් මිත්‍රයෙක් ලෙස කටයුතු කරන දැනට ශ්‍රී ලංකා යුද හමුදාවේ සෞන්දර්ය අංශය භාරව කටයුතු කරන මේජර් ජනරාල් ජනක ප්‍රශාන්ත රාජපක්ෂ මහතා යටතේයි.”කරන වෘත්තිය සමඟ මේ කලාව සිදු කරන්නේ කොහොමද යන්න ඇසූ ප්‍රශ්නයට ඔහු මෙවැනි පිළිතුරක් ලබා දුන්නේය.
“මම බටහිර වෛද්‍ය විද්‍යාව හදාරලා විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරනවා. දේශීය උඩරට නර්තනය කියලා කියන්නේ හෙළ වෙදකමේ එක කොටසක්. කංකාරි, ශාන්තිකර්ම, බලිශාන්ති කර්ම වාගේ දේවල් රෝගීන් සුවපත් කිරීමට භාවිත කළ, අපේ තිබුණු හෙළ වෛද්‍ය ක්‍රමයේ කොටසක්. ඒ නිසා මට ආසාවක් තිබුණා මේ දෙකේ සමතුලිතවීම කෙසේද කියා සලකා බැලීමට.
මොකද සමාජය ගොඩාක් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවට නැඹුරු වැඩියි. ඒ වගේම අපි දේශීය දේවල් ප්‍රතික්ෂේප කරනවා. නමුත් මම මෙහි දැක්ක විශේෂත්වය නිසා තමයි නර්තනයට ගොඩාක් යොමු වුණේ. ඒ වගේම මේකත් හදාරලා මම කොහොමද රෝගීන් සුවපත් කරන්න මෙය පාවිචිචි කරන්නේ කියලා සිතුවා. ඒ නිසා මේ කරන අධ්‍යයනයටත් තිබෙන ආසාව නිසා තමයි මේ විෂයය තවදුරටත් ප්‍රගුණ කරන්නේ” වෙස් මංගල්‍ය පසුගිය මස 27 වැනිදා මහනුවර, අමුණුගම මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලයේදී පැවැත්විණි.
(උපුටා ගැනීම – දිනමිණ )