දකුණු ඉන්දීය සිනමාව තුළ මහත් කතාබහට ලක්වන ප්‍රවීණ රංගන ශිල්පි විජේ සේතුපතිට එරෙහිව X සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයෙකු විසින් එල්ල කරන ලද චෝදනාවක් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.
රම්‍යා මෝහන් (Ramya Mohan) නමැති X ගිණුමෙන්, විජේ සේතුපතිට එරෙහිව මෙලෙස චෝදනා කර ඇත්තේ ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධවයි.
එහි දැක්වෙන්නේ, තමන් දන්නා හඳුනන ගැහැනු ළමයෙකු විජේ සේතුපති විසින් ලිංගික අපයෝජනයට ලක් කොට ඇති බවටයි.
එමෙන්ම, මොහු සමාජ මාධ්‍යවල සාන්තුවරයෙකු ලෙස පෙනී සිටිමින් මුදලට කාන්තාවක් ලිංගිකව සුරාකෑමට ලක් කර ඇති බව ඉන් අවධාරණය කර තිබෙනවා.
කෙසේ නමුත් සේතුපතිට එරෙහිව මෙම චෝදනා එල්ල කරමින් පළකර තිබූ අදාළ X පණිවිඩය පැය කිහිපයකට පසුව ඉවත් කර ගෙන තිබූ අතර පසුව එම ගිණුම ද අක්‍රීය කර තිබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, සේතුපති පෙන්වාදී තිබුණේ මෙම චෝදනා “පදනම් විරහිත” බවයි.
“මාව ටිකක් හරි දන්නා ඕනෑම කෙනෙක් මේකට හිනා වෙයි. මමත් මාව හොඳටම දන්නවා. මේ වගේ අපිරිසිදු චෝදනාවලින් මාව කලබල කරන්න බැහැ. මගේ පවුලේ අයයි, සමීප මිතුරනුයි කලබල වුණා. නමුත් මම ඔවුන්ට කිව්වා, ‘මේක අමතක කරන්න. මේ කාන්තාව පැහැදිලිවම මේ දේ කරන්නේ අවධානය දිනා ගන්න. ඇයට ප්‍රසිද්ධිය විනාඩි කිහිපයක් ලැබුණා, ඇයට එය විඳින්න දෙන්න කියලා. වසර හතක් තිස්සේ මම හැමදාම මේ වගේ කටකතාවලට මුහුණ දීලා තියෙනවා. මේ වගේ ඉලක්ක කිරීම් මට මෙතෙක් බලපෑවේ නැහැ. එය කවදාවත් බලපාන්නේත් නැහැ”
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, සේතුපති මෙම පරිශීලකයාට එරෙහිව සයිබර් අපරාධ පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා.
සේතුපති හට මෙම චෝදනා එල්ල වන්නේ, ඔහුගේ නවතම චිත්‍රපටය වන Thalaivan Thalaivii හි සාර්ථකත්වයත් සමඟයි.
“මගේ අලුත් චිත්‍රපටය හොඳින් ප්‍රදර්ශනය වෙනවා. සමහරවිට, ඊර්ෂ්‍යා කරන සමහර අය හිතනවා ඇති මට මඩ ගහලා මගේ චිත්‍රපටයට හානි කරන්න පුළුවන් කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. අද කාලේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. පෙරීමක් වෙන්නෙ නෑ. ඔබට අවශ්‍ය වන්නේ සමාජ මාධ්‍යවල ගිණුමක් විතරයි, ඔබට එහි කැමති දෙයක් බිය නොවී ලියන්න පුළුවන්”


















