“යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත වන තමා මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට රුපියල් ලක්ෂ පහක් ලබාදුන් බවද විජේසිංහ (ව්‍යාපාරික) නමැත්තා මුදල් ඉල්ලමින් කලක සිට තර්ජනය කරමින් බලපෑම් එල්ල කළ බවද තම මරණයට ප්‍රබල හේතුව වූයේ එම සිද්ධීන් බවද ඔහු දිවි හානි කර ගැනීමට පෙර ලියා තිබූ ලිපිය මගින් තහවුරු වී තිබේ.
මුරුතලාව ප්‍රදේශයේ ඉඩමක් හා ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව විජේසිංහ නමැත්තා සමග චම්පික නිලන්ත මහතා මුදල් ගනුදෙනුවක් පිළිබඳ කටයුත්තකට හවුල් වී තිබේ. ඊට අදාළ ලියකියවිලි සහ ගනුදෙනුවලදී පෙර සිදුවූ සිද්ධීන් පාදක කරගනිමින් විජේසිංහ නමැත්තා චම්පික නිලන්තට තර්ජනය කර ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. ඊට අදාළ කරුණු චම්පික නිලන්ත සියදිවි හානි කර ගැනීමට පෙර ලියූ ලිපියෙ ්ද සඳහන්ව තිබේ.
රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයකට නිවසක ගනුදෙනුවක් සිදු කිරීම සඳහා සිදු කළ සංවාදය ලිපිය ආරම්භයේ ඇති අතර ඒ සඳහා කූට ලේඛන සකස් කිරීමට තමාට උපදෙස් දුන් ආකාරය පිළිබඳව ද එහි සඳහන්ව තිබේ.
“ගේ විකුණ ගන්න බැරිනම් උඹව මරනවා” යනුවෙන් තමාට තර්ජන එල්ල කළ බවද, මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් දියණියගේ පාසල අසලදී යකඩ පොල්ලකින් හිසට පහර දුන් බවද එහි කැළල නළලට උඩින් තවමත් ඇති බවද එම ලිපියෙහි සඳහන් කර ඇත. දියණියගේ රෝගී තත්ත්වය සුව කර ගැනීම සඳහා කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ ආකාරය ද ලිපියේ සඳහන් කර තිබේ. ඔහුගේ ලිපියේ වැඩිදුරටත් “අපේ පවුලට කරපු දේට උඹ වගකියන්න ඕනෑ. (දුරකථන අංකය) විජේසිංහ කියපුවා මගේ වට්ස්ඇප් එකේ තියෙනවා” යැයි චම්පික නිලන්ත ලියන ලද ලිපියෙහි සඳහන් කර තිබිණි.
චම්පික නිලන්ත නමැති දෙදරු පියා බිරිඳ හා දියණිය ඝාතනය කර පෙරේදා (29දා) අලුයම සිය දිවි හානිකර ගෙන තිබිණි. ඊට අදාළව මහනුවර අධිකරණයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ ආරම්භ කළ අතර තිදෙනාගේ මළසිරුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය පීඨයේදී පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ලක් කෙරිණි.”

















