හෙල්මටයකින් පහරදී තරුණයෙකුගේ ජීවිතය උදුරා ගනී

366

බහින් බස්වීමක් දුර දිග යෑමෙන් පසු හෙල්මටයකින් පහරදී තමන්ගේ ඥාතියකු ඝාතනය කළ බව කියන අයකු බුලත්සිංහල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ බුලත්සිංහල, හල්වතුර, එපිටවත්තේ පදිංචිකරුවකු වූ පාලිත සමන් කුමාර නම්වූ 30 හැවිරිදි අයෙකි.

ඉකුත් 23 වැනිදා රාත්‍රී 9.45ට පමණ මියගිය අය යතුරුපැදියෙන් අසල්වැසියකුගේ නිවසට ගොස් ඇති බවත්, ඒ අසල පදිංචි සැකකරු පැමිණ බහින් බස්වීමක් ඇති කරගෙන හෙල්මටයෙන් පහරදී ඇති බවත් පොලිසිය කියයි.

මෙම පහරදීමෙන් බිම වැටී ඇති මොහු ත්‍රිරෝද රථයකින් ඉංගිරිය රෝහලට ගෙන ගොස් ඇති අතර එතැනින් හොරණ මූලික රෝහලට මාරුකර යවා තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා 24 දා) සවස 6.15ට පමණ මොහු මියගොස් ඇත.

බුලත්සිංහල, දෙල්මෑල්ල, පල්ලෙගෙවත්තේ පදිංචිකරුවකුවූ මෙම සැකකරු 23 හැවිරිදි අයෙකු වන අතර ඔහු ඊයේ (25 දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

බුලත්සිංහල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *