BREAKING NEWS
Search

අපොස සා.පෙළ විභාගය වෙනස් වෙයි

3030

2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (16) දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසුරියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

2026 වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත්, 2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත් නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බව හා 9 වන  ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ එක් එක් අංශ ප්‍රධානීන් තම අංශ මඟින් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අමාත්‍යවරිය දැනුවත් කරන ලදී.

මෙය විෂය නිර්දේශය සංශෝධනය කිරිම, ගුරු පුහුණුව, පරිපාලන හා යටිතල පහසුකම් සැලසීම, නිසි ඇඟයීම් ක්‍රියාවලියක් ඇති කිරීම හා මේ සඳහා මහජන දායකත්වය යන කුළුණු 05ක් මත සිදු කරන ලද අධ්‍යාපන පරිවර්තනයක් බව හා මෙහිදී ආකල්පමය අතින් පොහොසත් ගුරුවරුන් නිර්මාණය කිරිම ජාතික අධ්‍යාපන ආයතනවල වගකීම බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

තවද මෙම ප්‍රතිසංස්කරණවලින් නොනැවතී මේවා ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීමට හා විධිමත් ඇගයුම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය, එම ආයතනයේ සියලු අංශවල ප්‍රධානීන් සහභාගී වුහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *