ශ්‍රී ලාංකික කාන්තාවන් සහ දරුවන් 41 දෙනෙකු සෞදි අරාබියෙන් පිටුවහල් කිරීමේ රැඳවුම් මධ්‍යස්ථානවල අත්තනෝමතික ලෙස රඳවාගෙන

199

ශ්‍රී ලාංකික කාන්තාවන් 41 දෙනෙකු සෞදි අරාබියෙන් පිටුවහල් කිරීමේ රැඳවුම් මධ්‍යස්ථානවල අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින බව ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය පවසනවා.

ඔවුන් අතුරෙන් බහුතරයක් ගෘහසේවිකාවක් බවයි එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ.

මාස අටේ සිට මාස 18 දක්වා කාලයක් තිස්සේ රියාද් නුවර තර්හීල් ලෙස හැඳින්වෙන රැඳවුම් මධ්‍යස්ථාවල ඔවුන් රඳවා සිටින බව ක්‍ෂමා ආයතනය පෙන්වා දෙනවා.

ඒ අතරින් තුන්දෙනෙකු සමඟ ඔවුන්ගේ කුඩා දරුවන් සිටින අතර, එක් කාන්තාවකට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව සඳහන්.

සෞදි අරාබියේ ක්‍රියාත්මක වන කෆාලා හෙවත් අනුග්‍රහක ක්‍රමවේදය යටතේ ගෘහසේවිකාවන් දැඩි ලෙස පීඩාවට පත්වන බව මීට පෙරද පෙන්වාදී ඇති කරුණක්.

පසුගිය මාර්තු මාසයේදී සෞදි අරාබිය කෆාලා ක්‍රමවේදයට සංශෝධන එක් කළද ඊට ගෘහසේවිකාවන් ඇතුළත් වන්නේ නැහැ.

සෞදි අරාබියේ මිලියන 10 ක් පමණ වන සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් සියයට 30 ක්ම ගෘහ සේවිකාවන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය සඳහන් කළේ සෞදි රජයේ නෛතික ක්‍රියාවලිය අවසන් වනතෙක් එම ලාංකික කාන්තාවන් නිදහස් කරගැනීමට හැකියාවක් නොමැති බවයි.

විදේශ ගමන් බලපත්‍ර, වලංගු වීසා ඇතුලු ලියකියවිලි නොමැතිව සෞදියේ රැඳී සිටීම සහ සේවා ස්ථානවලින් පලාගිය පිරිස් මෙලෙස රැඳවුම් මධ්‍යස්ථානවල සිටින බවයි ඔහු කියා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *