මුණුපුරන් සිටින මැදිවියේ විවාහකයෙක් වූ මෙම පුද්ගලයා අපි සමන් කියා හදුන්වමු, ගම්මුන් පවසන ආකාරයට මෙම පුද්ගලයා තෙවැනි හා පස්වැනි සිල්පද නිතරම කඩන්නෙකි.
කිහිපවරක්ම ඇය හමුවී ඔහුගේ යෝජනාව ඉදිරිපත් කළත් ඇය සිනහමුසු මුහුණින් එය බැහැරකළේ තමාගේ හා එම පුද්ගලයාගේද ආත්ම ගරුත්වය පිළිබඳ සිතමිනි.
දින කිහිපයක්ම කළ උත්සාහයන් ගඟට කැපූ ඉනි සේ වෙද්දි ඇයගේ නිවෙසේ දොර විවර කර ගැනීමට ඔහු අපූරු උපායක් යෙදුවේය.
ගමේ ගොනුන්ගේ ගෙල බඳින ටකයක් සොයාගත් ඔහු දිනක් රාත්රියේ එය හඬවමින්, ගවයෙකු සේ තප්පු ලමින් ඇගේ නිවස වටා කැරකෙන්නට වූවේ උපාය ක්රියාවේ යොදවමිනි.
එම උපාය සාර්ථක විය. ඇය ලාම්පුවක් ද අතැතිව නිවසේ දොර විවර කර එළියට බැස්සේ “මේ හරක් මගේ මයියොක්කා ගස් ටික කන්න අදත් ඇවිදින්” යැයි කියමිනි.
මේ අතර නිවස ඉදිරිපස සැඟවී සිටි මොහු වෙර යොදා කාන්තාව බදාගත්තේ ඇයට සෙලවීමට පවා ඉඩක් ලබා නොදෙමිනි.
නමුත් ශක්තිවන්තියක වූ ඇය ඔහුව තල්ලු කොට නිවසට වැදී දොර වසා ගත්තේ කලක් හිතේ සඟවාගෙන සිටි අමු සිංහල වදන් කීපයකින්ද සංග්රහ කරමිනි.
පසු දින ඔහුට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක්ද වැටිණු අතර ඔහුට දින කිහිපයක් පොලිස් කූඩුවේ කූරු ගැනීමටත් උසාවියට ගෑටීමටත් සිදුවූවේ සල්ලාලකමට දඬුවමක් ලෙසිනි.


















