ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ රණවිරු සැමරුම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී අද පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
දශක තුනක් පුරා මව්බිම පෙළූ කුරිරු ත්‍රස්තවාදය නිමා කරමින් ලක් මාතාවට දෙවැනි නිදහස දිනා දුන් රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී මෙම රණවිරු සැමරුම සංවිධාන කර තිබුණා.
මෙම සැමරුම පසුගිය 18 වැනිදා මෙම ස්ථානයේදීම පැවැත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ ද ඊට අවසර නොදුන් බව පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කළා.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සැමරුම අද පැවැත්වුණු අතර, විශ්‍රාමික සහ රණක්ෂිතයට පත් රණවිරුවන් මෙම සැමරුමට එක්ව සිටියා.
එහිදී හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අය රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.


















