තරගයට මිනී මරන පාතාලයේ තුවක්කුකරුවන් සාමාන්‍ය ජන ජීවිතයට මේ වන විට එල්ල කර ඇත්තේ දැඩි පීඩනයකි. ඒ කුමන මොහොතක, කොතැනක තව වෙඩි තැබීමක් සිදුවෙතැයි කිසිවකුත් නොදන්නා බැවිනි. පාතාලය විසින් කවර හෝ මිනිස් ජීවිතයක් බිලිගත්තද එය පොදු සමාජය භීතියට පත්කරන කාරණාවක් වන්නේය. මෙහි කනගාටුදායක තත්ත්වය වන්නේ නිරායුධ අහිංසක ජනතාවද මෙම වෙඩි ප්‍රහාරවලින් නිකරුණේ මැරුම්කන නිසාය.
ගතවූ මාස 4යි දින අටක් තුළ මෙලෙස බිලිගත් මිනිස් ජීවිත ගණන 30කි. මෙහි ආසන්නතම සිදුවීම ඉකුත් 8 වැනිදා කොට්ටාව – මාලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. මෙලෙස ජීවිත බිලිගන්නා තුවක්කුකරුවන් කිසිදු බාධාවකින් තොරව සිය ඉලක්ක සපුරාගෙන පලායන අයුරුද මෙහිදී පැහැදිලිව දැකිය හැකිය. මෙය ඇත්තෙන්ම කනගාටුවට කරුණකි. මෙවන් තුවක්කුකරුවන් කොටුකර ගැනීමට පොලිසිය හා සෙසු ආරක්ෂක අංශ කොතෙක් උත්සාහ දැරුවද ඒ කිසිදු වැඩපිළිවෙළක් සාර්ථක වී නැති බව පැහැදිලිව පෙනේ. තුවක්කුකරුවන් ඔවුනට ඕනෑ විදිහට, ඕනෑ මොහොතක ඕනෑම කෙනකු වෙඩි තබා මරා දමන්නට උත්සුක වී ඇත්තේ ඒ නිසාය.
නාඳුනන තුවක්කුකරුවන් සිදුකරන මෙවන් ඝාතන පිටුපස සිටින බොහොමයක් දෙනා විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ය. නැතහොත් මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන්ය. ඔවුන් බොහොමයක් මෙම අපරාධ මෙහෙයවන්නේ විදෙස්ගතව සිටිමිනි. මෙම ඝාතන සිදුකරන තුවක්කුකරුවන් නීතියේ රැහැනට කොටුකර ගත්තද එම තුවක්කුකරුවන් මෙහෙයවන විදෙස්ගතව සිටින අපරාධකරුවන් ලෙහෙසියෙන් ආරක්ෂක දැලට හසුවන්නේ නැත.
මෙරට පොලිසිය ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්වී විදෙස්ගත වී සිටින එම සංවිධානාත්මක අපරාධකරුවන් කොටුකර ගැනීමට “රතු නිවේදන” ලබාගෙන ඇත්තේ ඒ නිසාය. පොලිසිය පවසන්නේ ගෙවුණු මාස හතක කාලය තුළ පමණක් අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවය. ඒ අනුව අවසන් වරට මෙරටට ගෙන්වා ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන්නේ ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් “ලොකු පැටී”ය. පාතාල නායකයකු වූ ලොකු පැටී කරළියට එන්නේ ක්ලබ් වසන්ත ඝාතනයත් සමඟය. එම ඝාතනයේ මහ මොළකරු ඔහුය. ඔහු ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවන්නේද බෙලරූස් රාජ්‍යයේ සිටය.
2017 මැයි මස 9 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ප්‍රධානියා වූ පොලිස් පරීක්ෂක රංගජීව ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි තැබීම සඳහා තුවක්කුකරු ගමන් ගත් යතුරුපැදිය පදවන්නේද මොහුය. එම සිදුවීම් රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකරලන්නට සමත් විය. ඒ හැරෙන්නට කළුතර, කැස්බෑව සහ මතුගම මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු රැසක්ද “ලොකු පැටී”ට එරෙහිව විභාග වන්නේය. ඊට අමතරව ඔහු විදේශගතව සිට අහුන්ගල්ල සහ ඒ අවට මෙහෙය වූ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතනද එමටය.
මෙවන් සිදුවීම් නිසා ඔහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට පොලිසිය ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා රතු නිවේදන ලබාගෙන තිබුණේය. ඉකුත් ජූලි මස අගදී ලොකු පැටී බෙලරූස්හි ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගත්තේ එම රතු නිවේදනය මතය.
ඒ වන විට ඔහු සන්තකයේ තිබී ඇත්තේ ව්‍යාජ ගමන් බලපත්‍රයකි. පසුව ඉකුත් වසරේ අගෝස්තු මස ලොකු පැටී අත්අඩංගුවට ගෙන ඇති බව මෙරටට දැනුම් දීමෙන් පසු ඔහුගේ ඇඟිලි සලකුණු හඳුනා ගැනීමක්ද සිදුකර ඇත.
එම ඇඟිලි සලකුණු හරහා බෙලරූස්වලදී අත්අඩංගුවට පත්ව සිටින්නේ ලොකු පැටී බව තහවුරු වීමෙන් පසු ලොකු පැටී සම්බන්ධ අපරාධ වාර්තා සහ අධිකරණ වාර්තා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යොමු කරමින් ඔහු මෙරටට ගෙන්වීමට නිලධාරීන් කටයුතු කර තිබේ.
ඒ අතරේදී ලොකු පැටී බෙලරූස් රාජ්‍යයේ සරණාගත භාවය ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කිරීම නිසා ඔහු මෙරටට භාර දීම දිගින් දිගටම කල්ගත විය. එම අභියාචනය ප්‍රතික්ෂේප වීමෙන් පසු ලොකු පැටී මෙරටට භාර දීමේ එකඟතාව මත සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් බෙලරූස් රාජ්‍යය වෙත ගියහ.
එලෙස ගිය පොලිස් කණ්ඩායම බෙලරූස් සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් මඟින් ලොකු පැටී රැගෙනවිත් එතැන් සිට “ෆ්ලයි ඩුබායි” ගුවන් සේවයේ 2-579 දරන ගුවන් යානයෙන් ඉකුත් ඉරු දින උදෑසන 7.48ට කටුනායක ගුවන්තොටුපළ වෙත ඔහු රැගෙන එනු ලැබීය.
පසුව ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්ෂාවෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ගුවන්තොටුපොළේදීම ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත්තේය.
අනතුරුව වැඩ බලන පොලිස්පතිවරයාගේ නියමයෙන් ඉදිරි විමර්ශන සඳහා ලොකු පැටී භාර කෙරෙනුයේ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වෙතය.
ඒ සඳහා එම කොට්ඨාසයේ ස්ථානාධිපති සුමිත් ජයසිංහ සහ හේමන්ත කුමාර යන පොලිස් පරීක්ෂකවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
දැඩි රැකවරණ මැද නුගේගොඩ, පාගොඩ පාරේ බස්නාහිර දකුණ විමර්ශන කොට්ඨාසයට රැගෙන ගිය ලොකු පැටී මේ වන විට සිටින්නේ එම කොට්ඨාසයේම සිර මැදිරියක රඳවා තබාය. සිරමැදිරිය ආසන්නයේම අවිගත් එස්.ටී.එෆ්. සහ පොලිස් නිලධාරීන්ය. ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන්නේද එම ආරක්ෂාව මැදය.
නිලධාරීහු මේ වන විට ඔහුගෙන් ප්‍රශ්නකොට දීර්ඝ ප්‍රකාශයක් ලබාගෙන එය අධ්‍යයනය කරමින් සිටිති. ඔහු මෙහෙයවූ ප්‍රධාන මිනිස් ඝාතන දෙකක් සම්බන්ධයෙන් නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔහු ඊට පිළිතුරු දෙමින් එම අපරාධ සිදුකළ ආකාරයද පවසා තිබේ. රටක් කැලඹූ ක්ලබ් වසන්ත ඝාතනය ඉන් එකකි. අනෙක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු කණ්ඩායමට වෙඩි තැබූ සිද්ධිය ගැනය. මෙවන් අපරාධවලට ලොකු පැටී යොමු වූයේ කෙලෙසද යන්න දැනගැනීමටද නිලධාරීන්ට අවශ්‍ය විය. ඒ අනුව නිලධාරීහු ඔහුගෙන් ඒ ගැන විමසමින් ප්‍රශ්න කළහ. එම ප්‍රශ්න කිරීමේදී ඔහු පවසන්නේ මෙවැනි කතාවකි.
1989 වසරේ උපත ලැබූ ලොකු පැටීගේ මහගෙවල් පිහිටියේ අහුන්ගල්ල පොලිස් වසමේය. ඔහු මේ වන විට 36 හැවිරිදි වියේ පසු විය. ගාල්ල රාජපක්ෂ විද්‍යාලයේ සිප්සතර හැදෑරූ ඔහු 10 වසර වනතෙක් එහි අධ්‍යාපනය ලැබීය. පාසල් සමය නිමැවීමෙන් පසු ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. 7 වැනි පාබල රෙජිමේන්තුවේ රාජකාරි කළ ඔහුට පසුව හමුදා ජීවිතය එපා විය.
නිවාඩුවකට ගමට ගිය ඔහු 2010 සිට හමුදා රාජකාරියට ගියේ නැත. එදා පටන් ඔහු හැඳින්වූයේ යුද හමුදාවෙන් පැනගිය සෙබලකු ලෙසය. කාලයක් ඇවෑමෙන් හමුදාවෙන් පැනගිය සෙබළුන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියද මෙම කාලය අතරතුර ක්‍රියාත්මක වීමත් සමඟ නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත් වීමට ඔහු තීරණය කළේය. ඒ, 2016 වසරේදීය.
හමුදාවෙන් නීත්‍යනුකුලව ඉවත් වුවද ඔහුට හරිහමන් රැකියාවක් ලැබුණේ නැත. ඒ අතට හසුවන රස්සාවල් කිහිපයකටම ඔහු ගියේය.
සංජීව ලොකු පැටීගේ සොහොයුරෙකි.වරෙක සංජීව කිසියම් චෝදනාවකට ලක්ව කොස්ගොඩ සුජී සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත වන්නේය. කොස්ගොඩ සුජී, එවකට කොස්ගොඩ, අහුන්ගල්ල ප්‍රදේශවල වැඩකරුවෙක් විය.
ලොකු පැටී සිය සොහොයුරා බලන්නට නිතරම බන්ධනාගාරයට ගියේය. අයියාට දාන “විසිට්”වලදී ලොකු පැටීට කොස්ගොඩ සුජී සමඟද කතාබස් කිරීමට හැකියාව ලැබුණේය. එම කතාබහත් සමඟ දෙදෙනා අතර මිතුරුකමක්ද ගොඩනැඟිණි.
සුජී ඇප ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමෙන් පසු ලොකු පැටී, සුජීට එකතු විය. කොස්ගොඩ සුජී සමඟ කලක් ළඟින්ම ඇසුරු කරමින් ඔහුගේ “වැඩ” ද පැටී සිදුකළේය. එහෙත් කල් යෑමේදී සුජී ලොකු පැටී සමඟ අමනාප විය.
“ඒකට හේතුවක් මම අදටත් දන්නේ නැහැ.”
ලොකු පැටී නිලධාරීන්ට කියා ඇත්තේ එවැන්නකි. පැටී සමඟ තිබූ වෛරය කෙතෙක් උග්‍ර වූයේද කිවහොත් අවසානයේ ලොකු පැටී මරා දමන්නට පවා සුජී ඇඟිලි ගැන්නේය.
“ජෝසා” ලොකු පැටීට සෙට් වන්නේ ඔය අතරවාරයේය. ජෝසා මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකි.
ජෝසා නිසා, මධූෂ් හඳුනා ගන්නා ලොකු පැටී එතැන් පටන් මධුෂ්ට මෙන්ම ජෝසාටද හිතවත්ව කටයුතු කළේය.
2017 වසරේදී කළුතර යුනිට් එක මඟින් අත්අඩංගුවට ගන්නා ලොකු පැටී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත වන්නේය. ඒ, මත්කුඩු සහ ජීව උණ්ඩ කිහිපයක් සමඟ කොටුවීම නිසාය.
එලෙස බන්ධනාගාරගත වන ලොකු පැටී සිරගෙදර සිටියදීම වැලිපැන්නේ ඔහු පදිංචි නිවෙසට දැවැන්ත වෙඩි ප්‍රහාරයක් එල්ල වන්නේය. එම ප්‍රහාරය මෙහෙයවනු ලබන්නේ කොස්ගොඩ සුජී විසිනි. මෙහිදී පිටස්තර කාන්තාවක් වෙඩි වැදී මියයන අතර තවත් දරුවන් දෙදෙනකුටද වෙඩි වැදී තිබිණි. ජෝසාගේ දියණියකගේ අතකටද වෙඩි ප්‍රහාර එල්ල වී තිබුණේය. මෙම ප්‍රහාරයත් සමඟ ලොකු පැටී සහ කොස්ගොඩ සුජී අතර තිබූ වෛරය තවත් තීව්‍ර විය.
ඔය අතරේ තමයි මධුෂ් මට කතා කරලා කියන්නේ “පොඩි වැඩක් තියෙනවා කරලා දෙන්න කියලා. මම කොල්ලෙක් එවනවා. ඌත් එක්ක පිළියන්දලට ගිහින් වැඩේ කරපන්…”
ලොකු පැටී නිලධාරීන් ඉදිරියේ එසේ කීවේය.
ඒ අනුව මධුෂ් විසින් එවනු ලැබූ සගයා ලොකු පැටී සමඟ යතුරුපැදියකින් පිළියන්දලට යන අතර බයික් එක පදින්නේ ලොකු පැටීය.
“අසිත තමයි මධුෂ් එවපු යාළුවා එයයි මමයි ගිහින් තමයි පිළියන්දලදී කට්ටියකට වෙඩි තිබ්බේ. පසුවදා තමයි දැනගත්තේ එදා වෙඩි තිබ්බේ නාකොටික් එකේ රංගජීව මහත්තයා ආව කාර් එකට කියලා.”
ලොකු පැටී ප්‍රශ්න කිරීම් හමුවේ පැවැසුවේය. කෙසේ වෙතත් පොලිස් පරීක්ෂක … රංගජීවගේ ජීවිතයට ඉන් හානියක් නොවීය. ඒත් ඔහුට තුවාල සිදුවිය. සිද්ධිය ආසන්නයෙන් ගිය දරුවකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට එම වෙඩි ප්‍රහාරය වැදී ඔවුහු ජීවිතක්ෂයට පත්වූහ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය සහ මිරිහාන යුනිට් එක මඟින් විමර්ශන ඇරැඹූ අතර එම විමර්ශනයේදී අත්අඩංගුවට පත්වන ලොකු පැටී යළි බන්ධනාගාරගත වන්නේය. කලක් බන්ධනාගාරගත වන පැටී ඉන් පසුව යළි ඇප මත නිදහස්ව පැමිණියේය. එහෙත් ඒ වන විට ඔහුගේ ජීවිතයට දැඩි ලෙස තර්ජන එල්ල වන්නට විය.
අවසානයේ විදෙස්ගතව සිටින ඥාතියකු විසින් ව්‍යාජ ලෙස සකසන ලද ජාතික හැඳුනුම්පතක් සහ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ලොකු පැටී ඩුබායි බලා පැන යන්නේය. රොටුඹ අමිල නමැති සංවිධානාත්මක අපරාධකරු ලොකු පැටීට මුණගැහෙන්නේ ඩුබායිවලදීය.
මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන්, රොටුඹ අමිල විදේශගතව රැඳී සිට ඇත්තේ එකටය. ඒ ඩුබායිවලය. මධුෂ් විසින් ඩුබායි හෝටලයක උපන් දින සාදයක් සංවිධානය කෙරෙනුයේ ඔය අතරවාරයේය. ඒ වන විට මධුෂ් ක්ලබ් වසන්තද හොඳින් ඇසුරු කළේය. කෙසේ වෙතත් ඒ දැනහැඳුනුම්කම මාකඳුරේ මධුෂ් රුපියල් කෝටි ගණනක මුදල් වසන්තට ලබා දී තිබුණේය.
එහෙත් පසුකාලීනව එම මුදල් ගනුදෙනු නිසියාකාරව සිදුනොකළ බවට මධුෂ්ගෙන් වසන්තට චෝදනාද එල්ල වී තිබිණි. මෙම ගනුදෙනු සියල්ලම කංජිපානි ඉම්රාන් හොඳින් දැන සිටියේය. ඒ, කංජිපානි මාකඳුරේ මධුෂ්ගේ හොඳම මිතුරකු වූ නිසාය.
මධුෂ් විසින් සංවිධානය කරන ඩුබායි උපන් දින සාදයට මේ සියල්ලෝම එක්වූහ. මෙරට ජනප්‍රිය නළුවන් සහ ගායකයන් කිහිපපොළකම ඊට ඇරැයුම් ලැබූ අතර ඔවුහු ඒ සඳහා ඩුබායි බලා ගියහ. ඩුබායි හෝටලයක උපන් දින සාදය ජයටම පැවැත්වූ අතර ඉස්තරම් විදේශීය මත්පැන් ඊට එක්කරගෙන තිබිණි. කෙසේ වෙතත් ක්ලබ් වසන්තටද සාදය සඳහා ඇරැයුම් ලැබිණි. ඔහුද සාදයට පැමිණෙන බව මධුෂ්ට පවසා තිබුණද අවසාන මොහොතේ ඔහු ඩුබායි ගියේ නැත.
උපන් දින සාදයේ උණුසුම්ම අවස්ථාවේදී මෙරට ගායකයන් ගී ගයද්දී පිරිස් එම ගීතවලට නර්තනය සපයද්දී ඩුබායි පොලිසිය එකවරම එම හෝටලයට කඩාවැදුණේය. එහිදී මධුෂ්, කංජිපානි ඇතුළු විසි ගණනක් ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර මෙරට නළුවන් මෙන්ම ගායකයෝද ඒ අතර වූහ.
මාකඳුරේ මධුෂ් ඒ වන විට සිටියේ රතු වරෙන්තු ලැබූ අයකු ලෙසය. මෙරට සිදුවූ මිනිස් ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔහු මෙරට පොලිසියට අත්‍යවශ්‍යව සිටි සැකකරුවකුද විය. ඔහු වරෙන්තු පිට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියද හිටි හැටියේ ඔහු මෙලෙස අත්අඩංගුවට පත්වීම ඔහුගේ මිතුරන්ට දැඩි ගැටලුවක් විය.
අත්අඩංගුවට ගත් පිරිස එකා දෙන්නා මෙරටට පිටුවහල් කළ අතර කංජිපානි ඉම්රාන්ද එලෙස පිටුවහල් කළ අය අතර විය. ඔහු මෙරටට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මාකඳුරේ මධුෂ් එරට සිට මෙරටට රැගෙන ආ අතර අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා සී.සී.ඩී.ය වෙත භාර දුන්නේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි මධුෂ්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරුණු අතර නිලධාරීන් විසින් ආයුධ සොයා ගැනීම සඳහා මාලිගාවත්තට රැගෙන ගිය මධූෂ්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ජීවිතක්ෂයට පත්විය.
මධුෂ් අත්අඩංගුවට පත්වීම මෙන්ම මධුෂ් ජීවිතක්ෂයට පත්වීමද රටේ මහත් ආන්දෝලනයක් ඇති කරලීමට සමත් විය.
මේ අතර කලක් බන්ධනාගාරගතව සිටි කංජිපානිට අධිකරණය මඟින් ඇප ලබා ගැනීමෙන් අනතුරුව ඔහුද හොර රහසේම රටින් පැනගොස් යළි ඩුබායි සිටි මිතුරන්ට එකතු විය. මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිසිය මඟින් අත්අඩංගුවට පත්වූයේ කෙසේද යන්න කංජිපානිට මහත් ගැටලුවක් ගෙන දුන්නේය. වරෙක ඔවුන් ඊට ක්ලබ් වසන්තද සැක කළේය. ඒ, වසන්ත උපන් දින සාදයටද නොපැමිණීම නිසාය. මේ අතර කංජිපානි ක්ලබ් වසන්ත දුරකථනයෙන් අමතා මාකඳුරේ මධූෂ්ගෙන් ලබාගත් රුපියල් කෝටි 25ක මුදල නැවැත ඉල්ලා සිටියේය. එහෙත් ක්ලබ් වසන්ත එම මුදල යළි කංජිපානිට ලබා දීමට කැමැති නොවීය. ඔහු කංජිපානිට පැවැසුවේ තමා මධූෂ්ගෙන් එවන් මුදලක් ලබා නොගත් බවය. එහෙත් වසන්ත මාකඳුරේ මධුෂ්ගෙන් රුපියල් කෝටි 25ක් ලබාගත් බව කංජිපානි හොඳාකාරව දැන සිටියේය. ඒ මධුෂ්ද ඒ බව කංජිපානිට පවසා තිබූ නිසාය.
කංජිපානි කිහිප වතාවක්ම ක්ලබ් වසන්තගෙන් මුදල් ඉල්ලුවද වසන්ත එම මුදල කංජිපානිට ලබා දීමට එකඟ නොවීය.
ඒ අතර ක්ලබ් වසන්ත ප්‍රසිද්ධ යූටියුබ් නාළිකාවක් සමඟ සාකච්ඡාවකට සහභාගි වී පවසා සිටියේ තමාට තරහකාරයෝ දෙදෙනකු සිටින බවත් එකකු මළ බවත් අනෙකා බියට රට පැන්න බවත්ය. ඔහු මළා යැයි පවසා ඇත්තේ මධූෂ්ටය. රට පැන්න බව කියා ඇත්තේ කංජිපානිටය. මෙම සාකච්ඡාව කංජිපානි ඇතුළු ඔහුගේ සගයන්ද දැක බලාගත්හ. ඒ සමඟ ඔවුනට ක්ලබ් වසන්ත ගැන ඇති වූයේ තරහක්ය.
ඉන් අනතුරුව ක්ලබ් වසන්ත කෙරෙහි කංජිපානි ඇතුළු සගයන් ගැන තිබූ සැකය තවත් වැඩි විය. මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිසියට අල්ලා දුන්නේ ක්ලබ් වසන්තද යන සැකය මේ නිසා තවත් තීව්‍ර විය. මධුෂ්ගේ මුදල් නොදීමත් තිබූ සැකයනුත් මත ක්ලබ් වසන්ත මෙලොවින් තුරන් කළ යුතු බව තීරණය කළ කංජිපානි ඒ සඳහා සහාය ඉල්ලුවේ මධුෂ්ගේ ළඟම සමීපතමයා වන රොටුඹ අමිලගෙන්ය.
අමිල ඒ වන විට ඩුබායි සිටියේ ලොකු පැටී සමඟ එකටය.
“වසන්තට ගහලා දාන්න ඕන…” යන ගාණක් මම දෙන්නම්… ඌ මධූෂ්ගේ සල්ලි දෙන්නේ නැහැ. ඒ නිසා ඌට ගහන්නම ඕන”
කංජිපානි රොටුඹ අමිලට කීවේය. අමිල මේ බව ලොකු පැටීට කීවේය. ක්ලබ් වසන්ත මරා දැමීමේ මෙහෙයුම ලොකු පැටී ඇරැඹුවේ එතැන් පටන්ය. ඒ, ක්ලබ් වසන්ත ඝාතනයට මාසයකට පමණ පෙර සිටය. ක්ලබ් වසන්ත කිහිප වතාවක්ම කොටුකර ගැනීමට ලොකු පැටී දැඩි උත්සාහයක් ගත්තේය. අවසානයේ අතුරුගිරියේ ටැටූ හලක් ආරම්භ කිරීම පටන් ක්ලබ් වසන්ත එතැනට ගෙන්වා ගැනීම දක්වා ප්ලෑන ගැහුවේ ලොකු පැටීය. තුවක්කුකරුවන් දෙදෙනාද පැමිණියේ ලොකු පැටීගේ උපදෙස් මතය. ඔවුන් ලොකු පැටීගේ අහුන්ගල්ල ගමේම අයමය. කොන්ත්‍රාත්තුව රුපියල් කෝටි 10කි. තුවක්කුකරුවන් ක්ලබ් වසන්තට වෙඩි තැබීමෙන් පසු මෝටර් රථයෙන් වෑන් රියකට මාරු වී කඩවත තෙක් ගමන් කරන්නේත් ලොකු පැටීගේ උපදෙස් මතය. ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු ලෙස ලොකු පැටී ලෙස හඳුන්වන්නේ ඒ නිසාය.
ක්ලබ් වසන්ත ඝාතනය ලොකු පැටී මෙහෙය වන්නේ රොටුඹ අමිලගේද සහාය ඇතිවය. ලොකු පැටී මරා දමන අයුරු ලොකු පැටී කංජිපානි සහ රොටුඹ අමිල විදෙස්ගතව සිට සතුටින් නැරැඹූහ. ඒ, ඔවුන්ගේ උත්සාහය සාර්ථක වීම නිසාය. ක්ලබ් වසන්ත ඝාතනය කිරීම ගැන කංජිපානිද සතුටු විය. ඔවුහු ලොකු පැටීගේ සාර්ථක සැලසුම ගැන කතාබහ කළහ. එදා පටන් ලොකු පැටී කරළියට ආවේය. ඉන් අනතුරුව ඔවුන් එරට පොලිසියට කොටුවෙතැයි යන සැකයක් ඔවුනට ඇති විය. එම සැකය මත ප්‍රංශය බලා පලායෑමේ අදහස ඇතිව ලොකු පැටී මෙන්ම රොටුඹ අමිලද බෙලරූස් රාජ්‍යයට ආහ. ඒ වන විට දෙදෙනාටම එරෙහිව දුටු තැන අත්අඩංගුවට ගැනීමේ රතු වරෙන්තු ජාත්‍යන්තර පොලිසිය හරහා එම රටවල ආරක්ෂක අංශ වෙත ලබා දී තිබිණි. ලොකු පැටී බෙලරූස්වලදී එරට පොලිසියට කොටුවන්නේ රතු වරෙන්තුවලට පින් සිදු වන්නටය. පසුව ඔහු එරට බන්ධනාගාරගත වූ අතර මාස 9කුත් දවස් 10ක් ලොකු පැටීට එරට බන්ධනාගාරයේ රැඳී සිටීමෙන් පසු මෙරටට ගෙන එනු ලැබීය.
එලෙස මෙරට ගෙනා 11 වැනි සංවිධානාත්මක අපරාධකරු ඔහු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද අවධාරණය කළේය. මේ වන විට ලොකු පැටී කළ කී දෑ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබාගත් රඳවා ගැනීමේ නියෝග මතය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග මහතා පවසන්නේ ඉදිරියේදී මෙවන් අපරාධවල නියැළී සිට ඉන්දියාව, ඩුබායි සහ ප්‍රංශය වැනි රටවලට පැන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 20 දෙනකු පමණ මෙරට ගෙන්වා ගැනීමේ කටයුතු සිදු වන බවය. ඒ අතර පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ එලෙස මෙරට රැගෙන ඒමට නියමිත ඊළඟ අපරාධකරුවන් අතර ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වූ රොටුඹ අමිල නමැත්තාද සිටින බවය.
ඉකුත් මාර්තු මාසයේදී රුසියානු පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනුණු බව ජාත්‍යන්තර පොලිසිය මඟින් මෙරටට දැනුම් දුන්නේය.
ඒ අනුව ඔහු මේ මස අවසන් වීමට කලින් මෙරටට රැගෙන ඒමට ඉඩ ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මේ අතර, එලෙස රැගෙන ඒමට නියමිත අනෙක් සංවිධාන අපරාධකරු වන්නේ පොඩි ලැසීය. වසර හතක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට බළපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024 දෙසැම්බර් 9 වැනිදා ඇප ලබා ගත් ඔහු ඉන් අනතුරුව අතුරුදන් විය. පසුව හෙළි වූයේ ඔහු බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලාගොස් සිටියදී එරටදී අත්අඩංගුවට පත්වූ බව කියැවේ. ඒ අනුව පොඩි ලැසීද මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට සකස් කරමින් පවතින බවත් කියයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජයපත්ම, මෙහෙයුම් භාර සහකාර පොලිස් අධිකාරි ජනක කුමාර යන නිලධාරීන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, විමර්ශන ඒකක (1) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත කුමාරගේ මෙහෙයවීමෙන් සැරයන් රංජිත් (38723), ප්‍රසන්න (40248), ගුණසේකර (56805), ලලන්ත (72330), කොස්තාපල් කුමාර (84762), පොලිස් රියැදුරු විජේරත්න (20567) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.



















