BREAKING NEWS
Search

දු‍ර ගමන් සේවා බස් සම්බන්ධයෙන් ගන්න යන අලුත්ම තීරණය මෙන්න…

435
දුර ගමන් සේවා බස් රථ ධාවනයේදී මගී ආරක්ෂාව සඳහා ආරක්ෂිත ක්‍රමවේද කිහිපයක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එහි සභාපති ජීවක ප්‍රසන්න සඳහන් කළේ, ඒ අනුව පැය 6කට වඩා වැඩි කාලයක් ගතවන දුරගමන් සේවා ගමන්වාර සඳහා බස් රථ දෙකක් යෙදවීමටද අවධානය යොමුවී ඇති බවයි.

මේ අතර රාත්‍රී කාලයේ ධාවනය වන දුර ගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

කතරගම සිට මහනුවර හරහා කුරුණෑගල බලා ධාවනය කෙරුණු කතරගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවුණේ ඉකුත් ඉරිදායි…

අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ ගණන 44ක්.

ඉන් හත්දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කමිටුවක්ද පත්කෙරුණු අතර පොදු මගී ප්‍රවාහනයේදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව එම කමිටුව නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ඊයේ අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණය කළ අතර පසුව ඔවුන් අනතුරින් තුවාල ලැබූ රෝගීන් ද හමුවී ප්‍රකාශ ලබා ගත්තා.

ඊට අමතරව අදාළ බස් රථයේ කොන්දොස්තර වරයාද සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මියගිය රියැදුරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙන්ම මෝටර් වාහන පරීක්ෂකවරයාගේ සහ රස පරීක්ෂකවරයාගේ වාර්තාවද අවශ්‍ය බවයි කමිටුව සඳහන් කරන්නේ.

මේ අතර අනතුරින් පසු කතරගම කුරුණෑගල බස් මාර්ගය සඳහා මේ වන තෙක් ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් වෙනත් බස් රථයක් යොදවා නැහැ.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න මහතා සඳහන් කළේ එම ධාවන මාර්ගයට ලංගම බස් රථයක් යෙදවීම තව දින 3ක් පමණ ගත වන බවයි.

පසුගියදා සිදුවූ මාරක බස් අනතුරින් පසු රියැදුරන්ගේ මානසික මට්ටම ව්‍යාකූල වී ඇති බැවින් එම තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු මෙම පියවර ගත් බවයි සභාපතිවරයා සඳහන් කළේ

එසේම දුර ගමන් සේවා බස් රථ ධාවනයේදී ආරක්ෂිත ක්‍රමවේද කිහිපයක් අනුගමනය කිරීමටද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි සභාපති ජීවක ප්‍රසන්න මහතා සඳහන් කළේ ඒ අනුව පැය 6කට වඩා වැඩි කාලයක් ගතවන දුරගමන් සේවා ගමන් වාර සඳහා ඩිපෝ දෙකක් සම්බන්ධ කර ගනිමින් බස් රථ දෙකක් යෙදවීමටද සැලසුම් කරන බවයි.

ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණවලට එළැඹ තිබෙනවා.

එසේම මින් ඉදිරියට දුර ගමන් සේවා සඳහා යොදා ගන්නා සෑම බස්රථයකම පූර්ව තත්ත්ව පරීක්ෂා වාර්තාවක් කැඳවන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර කොත්මගේ ගැරඬි ඇල්ල ප්‍රදේශවාසීන් විසින් පසුගියදා එම අනතුර සිදුවූ ස්ථානයේ ආගමික වතාවත් සිදුකර අනතුරින් මියගිය පුද්ගලයින්ට පින් අනුමෝදන් කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කළා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *