මුදල් ගෙවීම පැහැර හැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.
වැලිකඩ පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව අධිකරණය මගින් වරෙන්තු 7ක් නිකුත් කර තිබෙන බව සඳහන් කළා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු 4ක්ද, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු 2ක් සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් වරෙන්තුවක්ද නිකුත් කර තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායිකාව රංගන ශිල්පිනියක් බවත් ඇයට අධිකරණය මගහැරයාමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බවත් පැවසුවා.
මෙහි ඇතැම් නඩුවලට අදාළ මුදල් සිය සේවා දායිකාව විසින් දැනටමත් ගෙවා අවසන් කර ඇති බවත් එම නඩු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කරගෙන තිබෙන බවත් නීතිඥවරු දැනුම් දුන්නා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ සැකකාරිය රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියම කළා.
ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පැමිණිලි 4 ට අදාලව මුදල් ගෙවීම් සිදුකළ වාර්තා ලබන 19 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට නියෝග කළා.

















