BREAKING NEWS
Search

බලය පිහිටුවීම අර්බුදයකට ලක් කරමින් මාලිමාවට ලැබුණු ප්‍රතිඵලය ගැන ඇසෙන කතාව මෙන්න..

1363
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 339න් 261ක ජය හිමි කරගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.

මෙහිදී දෙවැනි ස්ථානය ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ලබාගෙන ඇති අතර තෙවන ස්ථානය හිමිව ඇත්තේ සමගි ජන බලවේගයටයි.

එමෙන්ම මෙම මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් ද පළාත් පාලන ආයතන කිහිපයක් ජයගැනීම විශේෂත්වයක්.

එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ ජය තහවුරු කරගත්තේ ඡන්ද 7,829ක් ලබාගත් ස්වාධීන කණ්ඩායම් අංක 1 විසින්. ඒ සභික 08 ක් ලබාගනිමින්

ඡන්ද 1,038ක් ලබාගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාව ජයග්‍රහනය කළේ ස්වාධින කණ්ඩායම් අංක 1යි

එම නගර සභාවේ ඔවුන්ට හිමිවූ සභික ධූර සංඛ්‍යාව 05ක්.

එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ ජය තහවුරු කරගත්තේ ඡන්ද 8,500ක්. ලබාගත් ස්වාධීන කණ්ඩායම් අංක 04 විසින්. ඒ සභික 08 ක් ලබාගනිමින්.

ඡන්ද 9,757ක් ලබාගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාව ජයග්‍රහනය කළේ ස්වාධින කණ්ඩායම් අංක 1යි.

එම නගර සභාවේ ඔවුන්ට හිමිවූ සභික ධූර සංඛ්‍යාව 07ක්.

පළාත් පාලන ඡන්ද විමසීමේ දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 261ක් ජයග්‍රහණය කළ ද ඔවුන්ට බහුතර සභික සංඛ්‍යාවක් හිමිව ඇත්තේ පළාත් පාලන ආයතන 164ක පමණයි.

පළාත් පාලන ආයතන 170ක බහුතර බලය සහ පාලන බලය ජාතික ජන බලවේගයට අහිමි වී තිබෙනවා.

ඒ, විපක්ෂය ආණ්ඩු පක්ෂයට වඩා වැඩි සභික සංඛ්‍යාවක් දිනාගැනීම හේතුවෙන්.

2025 පළාත් පාලන ආයත ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභාව, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව, කඩුවෙල මහ නගර සභාව, මොරටුව මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයත 13ම ජය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ සභික ධුරවලින් 48ක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුවත් විපක්ෂයේ සියලු පක්ෂ එක්ව දිනාගෙන ඇති සභික ධුර සංඛ්‍යාව 69ක්.

කඩුවෙල මහ නගර සභාව ජාතික ජන බලවේගය ජයගත්තේ ඡන්ද 60, 537ක් ලබා ගනිමින්. ඒ අනුව ඔවුන්ට හිමිවන සභික ධුර සංඛ්‍යාව 26ක්.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගය ඡන්ද 19,417ක් ලබා ගත් අතර එම පළාත් පාලන ආයතනයේ ඔවුන්ට සභික ධුර 21ක් හිමිවුණා.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව ඡන්ද 33,764ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය ජයගත් අතර, ඔවුන්ට හිමි වූ සභික ධුර ගණන 29ක්.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ජාතික ජන බලවේගය මෙලෙස පළාත් පාලන ආයතන සියල්ලේම ජය තහවුරු කරගත්තත් කොළඹ මහ නගර සභාව, කොළොන්නාව නගර සභාව සහ සීතාවකපුර නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට
ජාතික ජන බලවේගය සමත් වූයේ නැහැ.

කොළොන්නාව නගර සභාවෙන් ජාතික ජන බලවේගයට සභික ධුර 9ක් හිමි වුව ද සමස්ත විපක්ෂයේ සභික ධුර එකතුව 10ක්.

සීතාවකපුර නගර සභාව සඳහා ද ජාතික ජන බලවේගය සභික ධුර 11ක් ලබා ගෙන ඇති නමුත් විපක්ෂය සභික ධුර 14ක් ලබා ගෙන තිබීම හේතුවෙන් එහි බලය පිහිටුවීම ද ගැටලුවක් වී තිබෙනවා.

මොරටුව මහ නගර සභාවේ ජාතික ජන බලවේගය හා විපක්ෂයේ සියලු පක්ෂ ලබාගත් සභික ධුර ප්‍රමාණය සමාන වී තිබීමත් විශේෂත්වයක්.

පාලන ආයතන 19ක් සහිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල ජය හිමිකරගෙන තිබෙන්නේ ජාතික ජන බලවේගයයි.

කෙසේ වෙතත් පෑලියගොඩ නගර සභාව සහ වත්තල මාබෝල නගර සභාව තුළ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව නැහැ.

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17න් දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතන 15ක ජය හිමි කරගෙන තිබෙන්නේ ජාතික ජන බලවේගයයි.

පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සහ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයෙන් ගිලිහී සමගි ජන බලවේගයට හිමිව තිබෙනවා.

ජාතික ජන බලවේගය ජය ගත් පළාත් පාලන ආයතන 15 තුළත් පළාත් පාලන ආයතන 12කම බලය තහවුරු කර ගැනීමට එම පක්ෂය අසමත්ව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව, දොඩම්ගොඩ ප්‍රාෙද්ශීය සභාව, බේරුවල ප්‍රාදේශීය සභාව, බේරුවල නගර සභාව බුලත්සිංහල ප්‍රාදේශීය සභාව, හොරණ නරග සභාව, කළුතර ප්‍රාදේශීය සභාව, කළුතර මහ නගර සභාව, මදුරාවල ප්‍රාදේශීය සභාව, මතුගම ප්‍රාදේශීය සභාව, මිල්ලනිය ප්‍රාදේශීය සභාව සහ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් පාලක ජාතික ජන බලවේගය සිටින්නේ අර්බුදකාරී තත්ත්වයකයි.

පානදුර ප්‍රාදේශීය සභාවේ බලය සම වී ඇත්තේ ජාතික ජන බලවේගය ලබා ගත් සභික ධුර සංඛ්‍යාව සහ අනෙක් සියලු පක්ෂ ලබා ගෙන ඇති සභික සංඛ්‍යාව සම වීම හේතුවෙන්.

දෙපාර්ශ්වයම ලබාගෙන ඇත්තේ සභික ධුර 22 බැගින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *