ගමේ පොළ මැද අසරණ වුණු කොළඹ ” ලොකු හින්දා ” පොෂ් නෝනා

1022
ඕනෑම කෙනෙක් තමන් ජීවත්වෙන සමාජයට අනුව අනුවර්ථනය වෙන එක වටිනවා.. ඒත් ඇයට එහෙම වෙන්න උමනාවක් තිබුණේ නැහැ..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තමන් ඉන්න සමාජෙට අනුව හැඩගැසුණේ නැති කාන්තාවක්ට ඇත්තටම සිද්ධ වුණේ පිරිසක් ඉදිරියේ අසරණ වෙන්නයි..

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට තම ලොකුකම ප්‍රදර්ශනය කළ කාන්තාවකට අත්වුණු ලැජ්ජාසහගත කතාවක් ගැනයි මේ අහන්න ලැබෙන්නේ.. ඒ කතාව මෙන්න මෙහෙමයි..

ඇය කැබිතිගොල්ලෑව වැනි දුෂ්කර පළාතකට ස්ථිර පදිංචිය සඳහා පැමිණ ඇත්තේ ඉතාම මෑතකදීයි… ඒ ඇයගේ විවාහය නිසායි.. මෑතකදී විවාහ වී සිටි ඇය තම සැමියාගේ ගම් පළාතට එලෙස පැමිණ සිටි අතර, එම ගම්පළාතේ ගැහැනු උදවියට වඩා තමා උසස් යැයි පෙන්වීමට ඇය නිතර උත්සාහ දැරුවා.. තමා ආහාර සඳහා තෝරා ගන්නේ ඉතා ගුණදායක මුහුදු මාළු වර්ග බව ඇය හිතවත් අසල්වැසි කාන්තාවන්ට නිතර පවසා තිබුණා..

මේ කියන දවසේ ඇය නගරයේ සතිපොළට තවත් අසල්වැසි කාන්තාවන් දෙතුන් දෙනෙකු සමග ගියා.. එහිදී ඇය එම කාන්තාවන් සමග මුහුදු මාළු අලෙවි කරන ජංගම ලොරි රථයක් සමීපයට ගොස් මුහුදු මාළු මිලදී ගැනීමට සූදානම් වුණා..

විවිධ මාළු වර්ග පිළිබඳව විමසමින් අනික් අයට පේන්නට මෙන් උජාරුවෙන් මාළු පරීක්ෂා කරන්නට වුණා…
ඇය සමඟ ගිය අසල්වැසි කාන්තාවෝ හුරුල්ලන්, අලගොඩුවන්, වැනි මාළු මිලදී ගත්හ. මාළු ලොරි රථයේ වෙළෙන්දා හඬ නගමින් මාළු අලෙවි කරන්නට විය.‘‘ලොකු හින්දා පන්සීයක් තුන්සීයයි. ලොකු හින්දා පන්සීයක් තුන්සීයයි. ලොකු හින්දා පන්සීයක් 300යි”‍ යනුවෙන් ඔහු බෙරිහන් දෙමින් පාරිභෝගිකයින්ට අඬගැසුවේය.

මේ “පොෂ්”‍ කාන්තාව තම මුදල් පසුම්බියෙන් රුපියල් 150ක් එළියට අරගෙන ,‘‘මුදලාලි ලොකු හින්දා පන්සියයක් 300යි නම්, මට පොඩි උන්ගෙන් පන්සීයක් දෙන්නකෝ, මේවා ගොඩක් ගුණදායක මාළු. අපි නිතරම කනවා”‍ යැයි කියමින් මුදලාලි වෙත රුපියල් 150 ක් දිගු කළා..

මුදලාලි අන්දුන් කුන්දුන් වුණා.‘‘නෝනා මොනවද මාළු ගැන දන්නේ. ලොකු හින්දා පන්සියක් තුන්සීයක් නෙවෙයි නෝනා. මම කිව්වේ මේ මාළු වර්ගයේ නම. මේ මාළුන්ට කියන්නේ ‘‘ලොකු හින්දා”‍ කියලා. ඒ උන්ගේ නම. නෝනගේ එකසිය පනහට දෙන්න මාළු අපි ළඟ නෑ.”‍ යැයි කියමින් ඇයගේ රුපියල් 150 ප්‍රතික්ෂේප කළා.. ‍

උඩඟු‍ කාන්තාව වටපිට බලද්දී ඇය සමග පැමිණි ඇයගේ අසල්වැසි මිතුරියන් සිය අත් වලින් ඔවුන්ගේ කටවල් වසා ගෙන සිටියේ ඔවුන්ගේ සිනහව එළියට පැනීම වළක්වා ගනු පිණිසයි..
කාන්තාව මොහොතක්වත් එතැන නොරැඳී සතිපොළ භූමියෙන් වාෂ්ප වී ගියා..

දැන් ඒ පළාතේ උදවිය ඇයට ‘‘ලොකු හින්දා නෝනා”‍යනුවෙන් ආමන්ත්‍රණය කරන බව දැනගන්නට ලැබුණේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *