අද (29) අලුයම පානදුර, හිරණ පොලිස් වසමේ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කුඩු සළිඳු නොහොත් සළිඳු මල්ෂික විසින් මෙහෙයවා ඇති බව පොලිසිය සැක කරනවා.
සාදයක් පැවැති ස්ථානයකට ඇතුළු වූ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩික්කරුවන් පළා ගොස් තිබුණා.
මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනෙකු පානදුර රෝහලට ඇතුළත් කළ පසු ඉන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 35ක් සහ තුවාලකරු වයස අවුරුදු 20ක් වූ බටහිර මාලමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


















