උදේ 7.00 ට M6 786 එංජිම සහිත මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුවෙන් සිය ගමන ආරම්භ කළා.
අනෙක් බස් අභිබවා ගොස් හැම ‘කෑල්ලක්’ ම තම බස් රියට නංවා ගැනීමේ තරඟයේ ඔවුන් යෙදුණු බවට බස් රියේ සිටි මගියෙක් පසුව සාක්ෂි ලබා දී තිබුණා.
අටයි දහය පමණ වනවිට දුම්රිය ගේට්ටුකරුවන් විසින් යාංගල්මෝදර හරස් මාර්ගයේ ගේට්ටු වසා දැමුවා. මේ වනවිට වාහන කිහිපයක්ම දුම්රිය හරස්මග ආසන්නයේ නතර කර තිබුණා.
මේ අවස්ථාවේ ගල්කිරියාගම – කොළඹ බස්රියත් මේ වාහන අතරේ, දුම්රිය හරස්මාර්ගයට වාහන දහයක් පමණ පසුපසින් නවතා තිබුණා. එහෙත් තවත් සුළු වෙලාවක් නිසි ලෙස පමා වීමට, මේ බස් රියේ රියදුරා සහ කොන්දොස්තරවරයාට ඉවසීම තිබුණේ නැහැ.
ඉදිරියෙන් වූ අනෙක් වාහන පසුකරමින් බස් රථය වසා තිබූ දුම්රිය ගේට්ටුවේ ඉතිරි ඉඩ අතරින් දුම්රිය හරස් මාර්ගයට ධාවනය කළා. කොන්දොස්තර වූ බුද්ධික රුවන් කුමාර ඒ අවස්ථාවේ බසයෙන් බැස දුම්රිය එනවාදැයි බලා,”හරි හරි කොච්චිය නෑ..” යයි පවසා තිබුණා. ඊට ඉතාම සුළු මොහොතකට පසු මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පැමිණියා.
එහෙත් ඔහුට හැකිවූයේ බසයෙන් බැසීමට පමණයි.පලාතම දෙදරුම්කන හඬක් සමඟ, දුම්රිය බස් රිය බඳෙහි ගැටුණා. ඉදිරියට ඇදෙන දුම්රිය සමඟ තවත් මීටර් සියයක් පමණ ඇදී ගිය සුන්බුන් වූ බස්රිය, ගිනිගත්තා. හරියටම උදේ 8.13 ට, ලංකා ඉතිහාසයේ අති බිහිසුණුම දුම්රිය අනතුරක් සිදුවුණා.
බසයේ සුන්බුන් වූ ගිනියම් තහඩු අතරේ සිරවී සිටි පිරිස් බේරාගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් වුණා. බසය ගිනි ගැනීම නිසා බොහෝ මළ සිරුරු තැම්බුණු ස්වභාවයක් ගෙන තිබුණා.
පුද්ගලයන් තිස් පස් දෙනෙකු මියගොස් තවත් හැටකට අධික පිරිසක් තුවාල ලබා තිබුණා.ඉදිරියේ එළඹුණු දින කිහිපයේදී, අසාධ්‍ය තත්ත්වයේ සිටි තවත් හයදෙනෙකු මෙළොව හැරගියේ මේ ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව හතළිස් එකක් දක්වා ඉහළ නංවමින්. තවත් තිස් හය දෙනෙකු සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව තිබුණා.
ඇල්පිටියේ පදිංචිව සිටි එකම පවුලේ, මව, පියා සහ එකොළොස් හැවිරිදි දියණිය මේ අනතුරින් මරණයට පත්වුණා.
දඹුල්ලේ මේනකා විදර්ශනීත් ඇගේ පවුලේ අයත් අප්‍රේල් 26 මාතර යාමට නියමිතව තිබුණත්, එදින මාතරට සුනාමියක් එන බවට ප්‍රචාරයක් ආ බැවින් ඔවුන් ගමන කල්දමා තිබුණා.
දෛවෝපගත ලෙස ඔවුන් ගොඩවූ මේ බස්රිය මේනකාව මරණයේ ගමනාන්තය කරා රැගෙන ගියා. අවුරුදු තුනක් පමණ වයසැති දරුවෙකුගේ දෙකට කැපී වෙන් වුණු මළසිරුර දුම්රිය මග දෙපස වැටී තිබුණා.
කෑගල්ල බාලිකාවේ තිලන්කා සරෝජනී මේ අනතුරින් තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ, ඇයත් සමඟ බසයේ පැමිණි මිතුරිය ‘හඳුනා නොගත් සුන්බුන් වූ සිරුරක්’ ලෙසට රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර සිටියදී. පසුව ඒ සිරුර ඥාතීන් විසින් හඳුනාගෙන තිබුණේ, දැවී කළු වී ගිය ඇඳුමක ඉතිරි වී තිබූ කොටසකින්.
“දුම්රිය සංඥාව කොළ පාට වී තිබුණා. බස් රිය දුම්රිය මාර්ගයට ඇතුළු කරනු දුටු වහාම මම දුම්රියේ වේගය පැයට කිලෝමීටර 20 දක්වා අඩු කළා. දුම්රිය බසයේ ගැටුණ විගස ගිනිගත්තා. අනතුරින් දුම්රියේ වැකුම් පයිප්ප කැඩී ගියා..” යි දුම්රියේ රියදුරු එච්. ඒ. සිරිසේන සාක්ෂි දෙමින් පවසා තිබුණා.
ඒ 2013 අප්‍රේල් පස් වැනිදායි.ලංකා ඉතිහාසයේ පළමු වරට රිය අනතුරක් සම්බන්ධ නඩුවක් – චේතාන්විත මිනී මැරීමක් ලෙසට සලකා මෙම නඩුව විභාගයට ගැනුණා.එමෙන්ම, කොන්දොස්තරවරයා විසින් බසයෙන් බැස, දුම්රිය නො එන බවට සහතික වී, ඒ බව රියදුරුට දන්වා ඔහුට ක්‍රියාත්මක වීමට තිබූ කාලය, මිනිස් මොළයේ පණිවිඩ හුවමාරුවේ සහ මිනිස් සිරුර එයට ප්‍රතිචාර දැක්වීමට ගතකරන කාලයත් මේ නඩුවේදී විමසීමට ලක්වුණා.
















