BREAKING NEWS
Search

තැපැල් ඡන්ද හිමියන්ට කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

126

මැයි මස 06 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ජන්ද විමසීමේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව, ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත ඒ සඳහා යොදා ගත හැකි බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

එමෙන්ම ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ද පිළිගත් ලියවිල්ලක් වනවා.

තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අනිද්දා ආරම්භ වන අතර 25, 28 සහ 29 යන දිනවලදී ද තැපැල් ඡන්ද සළකුණු කිරීමට හැකියි.

ඒ අනුව පළාත් පාලන ආයත 339ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක කියා සිටියේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රැස් වුණා.

ඊට මෙවර ඡන්දයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන්ද එක්ව සිටියි.

මේ අතර පළාත් පාලන ආයතනවලට ලබාදෙන ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම පළාත් පාලන ආයතනවලට ලබාදෙන ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් පිරිසක් මහරගම නගරයේදී ඊයේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *