රෝහලට පැනලා මෘත දේහයක් බලෙන් රැගෙන ගිහින් – බණ්ඩාරගමින් ඇහෙන පුදුම කතාව

804

බණ්ඩාරගම දිසා රෝහලට පැමිණ එහි වෛද්‍යවරුන්ට පරුෂ වචනයෙන් බැන වැදී, සේවකයින්ට පහර දී මෘත දේහයක් බලහත්කාරයෙන් රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙහිදී පහර දීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ රෝහල් සේවකයෙකු එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු බරපතල තුවාල ලබා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ එක් අයෙකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, බණ්ඩාරගම – අලුත්ගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.

කෙසේ වෙතත්, මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුලු 15 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම අවස්ථාවේදී බණ්ඩාරගම දිසා රෝහලට පැමිණ මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කර තිබෙනවා.

එහිදී රෝහල් බලධාරීන්, වෛද්‍යවරුන් සහ සේවකයින් විරෝධය පළ කිරීමත් සමග පැමිණි සිටි පිරිස මොවුන්ට පහර දී දේපළවලට හානි සිදු කර තිබුණා.

පසුව මෙම පිරිස මිය ගිය පුද්ගලයා පානදුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රෝහල් සේවකයින් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ රෝහල තුළ කලහකාරි ලෙස හැසිරුණු ඇතැම් පිරිස් බීමත්ව සිට ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *