විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු පමණක් නොව උපදේශන මනෝවිද්‍යාව හා මනෝචිකිත්සාව පිළිබඳවද විශේෂඥයකු වූ ආචාර්ය එන්.ඩී.පී. ගයන්ත මහතාගේ හදිසි අභාවයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය මෙන්ම විද්‍යාර්ථීන්ද කම්පනයට පත්ව සිටින බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය දන්වා සිටී.
සිය පවුලේ පිරිස සමග යාපනය ප්‍රදේශයේ සංචාරයකට ගොස් ආපසු නිවෙස බලා එමින් සිටියදී මීරිගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මියගිය කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයට අයත් දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ආචාර්ය එන්.ඩී.පී. ගයන්ත මහතාගේ අභාවය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උපකුලපතිනිය මෙසේද පවසයි.
දකුණු පළාතේ බෙලිඅත්ත ප්‍රදේශයේ උපත ලබා ඇති ආචාර්ය ගයන්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනය හා මනෝවිද්‍යාව පිළිබඳව මූලික උපාධිය ලබා ඇත. හෙතෙම එම විශ්වවිද්‍යාලයෙන්ම මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර ඇත. පසුව ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනමෙන් උපදේශන මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමාව හා මනෝ චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවද ලබාගෙන ඇත. මනෝ විද්‍යා ක්ෂේත්රයට අදාළ ග්රන්ථ කතුවරයෙකු ලෙසද කටයුතු කළ ඒ මහතාගේ හදිසි අභාවය විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවටද බරපතළ පාඩුවක් බවද උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය වැඩිදුරටත් පවසා සිටී.
ආචාර්ය ගයන්ත මහතාගේ අවමංගල්‍ය කටයුතු අද සිදු කෙරෙන අතර ඔහුගේ බිරිදගේ බාල සොහොයුරා ද ජිවිතයෙන් අද උදෑසන සමුගත් බව පවුලේ අය පවසනවා.



















