වැල්ලම්පිටිය රම්‍ය මාවත අසල තිබියදී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.
පොලිසිය මේ සම්බන්ධයෙන් CCTV කැමරා ඔස්සේ කළ විමර්ශනයකදී ත්‍රීරෝද රථයකින් මියගිය පුද්ගලයාව ගෙනැවිත් දමන අයුරුද හෙළිවී තිබෙනවා.
මෙම පුද්ගලයා නඩු කටයුත්තකට සහභාගී වී පැමිණෙන අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ දී තිබෙන බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ රම්‍ය මාවත අසල පුද්ගල මළ සිරුරක් ඇති බවට අද උදෑසන 11.45ට පමණ ලද තොරතුරක් මත වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කළා.
ඒ අනුව කළ CCTV පරික්ෂාවකදී වැල්ලම්පිටිය රම්‍ය මාවත අසලට ත්‍රී රෝද රථයකින් පැමිණෙන පුද්ගලයෙකු පිටුපස අසුනේ සිටි තවත් පුද්ගලයෙකුව ඔසවා ත්‍රිරෝද රථයෙන් බස්සවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා.
එම අවස්ථාවේ ඔහු ත්‍රිරෝද රථයට මුදල් ගෙවනු ලැබුවේද සිහි මුර්ජා තත්ත්වයෙන් මෙන් සිටි පුද්ගලයාගේ පසුම්බියෙන් බවද දැක්වෙනවා.
පසුව සිහි මුර්ජා තත්ත්වයෙන් සිටි පුද්ගලයාව රම්‍ය මාවත අසල දමා ඔහුගේ පසුම්බියද රැගෙන එම පුද්ගලයාද පලා ගොස් තිබෙනවා.
මාර්ගය අසල අවසිහියෙන් මෙන් සිටි පුද්ගලයා දුටු යාබද නිවසක අයෙකු ඒ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති අතර පසුව වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කළා.
පොලිසිය එම ස්ථානයට පැමිණෙන විටත් අදාළ පුද්ගලයා මියගොස් ඇති අතර සිරුර සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කෙරුණා.
මෙලෙස මිය ගොස් ඇත්තේ සිසිර ප්‍රනාන්දු නැමැති 56 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද උදෑසන නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණය වෙත ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් CCTV ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය එම ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගත්තා.
ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් මෙම පුද්ගලයා හා අනෙක් පුද්ගලයාව කුලී ගමනක් යාම සඳහා නංවාගෙන පැමිණි බවත් අතරමගදී එක් අයෙකු යම් දෙයක් පානය කිරීමෙන් අනතුරුව සිහි මුර්ජා වූ බවයි.
පසුව තමන් ඔවුන් දෙදෙනා වැල්ලම්පිටිය රම්‍ය මාවත අසලින් බස්සවා එම ස්ථානයෙන් පිටව ගිය බවද ඔහු පොලිසියට පවසා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ පැමිණි අනෙක් පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු සොයා වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන සිදු කරනවා.


















