BREAKING NEWS
Search

අනුරපුර සිද්ධියේ වෛද්‍යවරියගේ දුරකතනය හමු වූ තැන මෙන්න

37

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක් දූෂණය කළ සැකකරු මේ මස 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අද (17) නියෝග කළා.

සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අද (17) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

මේ අතර, සැකකරු, වෛද්‍යවරියගෙන් පැහැරගෙන ගිය බවට සැක කෙරෙන ජංගම දුරකථනය ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක් දූෂණයට ලක් වුණේ පසුගිය 10 වැනිදායි.

රැකියාව අවසන් වී සිය නේවාසිකාගාරයට පැමිණි අවස්ථාවේදී ඇය මෙම සිද්ධියට මුහුණ දුන් අතර ඊට සම්බන්ධ සැකකරු ඇගේ ජංගම දුරකථනය ද පැහැරගෙන පළා ගොස් තිබුණා.

පොලිස් කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වී විමර්ශන ආරම්භ කළ අතර ගල්නෑව ප්‍රදේශයේ සැඟව සිටි සැකකරුත්, ඔහුගේ වැඩිමල් සහෝදරිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.

ඔවුන් අද (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, අද ප්‍රධාන සැකකරු පමණක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එම පෙරෙට්ටුව මේ මස 24 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළා.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ, එළැඹෙන 24 වැනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා සැකකරු ඉදිරිපත් කරන ලෙසටයි.

පැමිණිලිකාර වෛද්‍යවරියට හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඇය අධිකරණයේ පෙනී නොසිටි බව, නඩුව කැඳවූ අවස්ථාවේ අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළා.

කරුණු සළකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ, 24 වැනිදා පැමිණිලිකාර වෛද්‍යවරිය හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා කැඳවීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසටයි.

ගල්නෑව නව නගරයේ පදිංචි නිලන්ත මධුරංග රත්නායක නමැති සැකකරුගේ නිවසේ තිබී හමු වූ ජීව අත්බෝම්බය පිළිබඳව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

සියලු කරුණු සළකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කළේ, සැකකරු මේ මස 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

මේ අතර, වෛද්‍යවරියගෙන් සැකකරු පැහැරගෙන ගිය බවට සැක කෙරෙන ජංගම දුරකථනයක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඒ, ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක තිබියදීයි.

පොලිසිය පැවසුවේ, පසුගිය 12 වැනිදා සැකකරු අත්අඩංගුවට ගත්තේ ද මෙම කැළෑබද ප්‍රදේශයේ සිටියදී බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *