පසුගිය පෙබරවාරි 27 වැනිදා උදෑසන 9.45 ට පමණ වත්තල පොලිසියට දුරකථන ඇමතුමක් හරහා පුද්ගලයෙකු දැනුම් දී ඇත්තේ එම ප්‍රදේශයේ අධික දුර්ගන්ධයක් පවතින බවත් එම නිවසෙහි අයිතිකරු දින කිහිපයක සිට අතුරුදහන් වී ඇති බවයි.
සැකකටයුතු යමක් සිදු වී ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම දුරකථන ඇමතුම ලබා දුන් බවයි පැමිණිලි කළ පුද්ගලයා සඳහන් කර තිබෙන්නේ.
පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වූ වත්තල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා, අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් මෙම සැක සහිත නිවස ස්ථානීය පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
එහිදී නිවසේ හිමිකරු දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට මූලික කරුණු අනාවරණය වූයේ.
මෙලෙස මියගොස් ඇත්තේ පනස්හය හැවිරිදි චම්ලි හර්මන් ගෝමස් නමැති ව්‍යාපාරිකයෙක්.
මරණකරු විවාහක පුද්ගලයකු වන අතර ඔහු දරුවන් තිදෙනකුගේ පියෙක්. නීතියෙන් තම බිරිඳ සමඟ වෙන් වී ඔහු මෙම නිවස තුළ තනිවම ජීවත් වූ අතර වාරයේදී මෙම ඛේදජනක සිදුවීමට මුහුණ දී තිබෙනවා.
මෙම පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තාව රාගම රෝහල විසින් පසුගිය මාර්තු පළමුවනදා වත්තල පොලිස් ස්ථානාධිපතිතුමා වෙත යොමු කර තිබුණු අතර එහි සඳහන්ව ඇත්තේ ගෙල පෙදෙසට තියුණු ආයුධයකින් ගෙල කැපීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.
එමෙන්ම එම පුද්ගලයා පසුගිය පෙබරවාරි 19 වන දින මියගොස් ඇති බවත් පොලිසිය දැනුවත් වන තුරුම එනම් පෙබරවාරි 27 වන දා දක්වා මළ සිරුර ඒ ආකාරයෙන්ම නිවස තුළ තිබී ඇති බවටත් තහවුරු වී තිබෙනවා.
පොලිස් නිලධාරීන්ගේ සැකයට තුඩු දුන් පළමු කාරණාව වී ඇත්තේ මියගිය පුද්ගලයා ඔහු මියගොස් සිටි ඇඳ අසල තිබූ ස්ථාවර දුරකථනයෙන් දුරකථන ඇමතුමක් ගැනීමට උත්සාහ කළ ආකාරයෙන් ම ජීවිතක්ෂයට පත්ව තිබීමයි.
කෙසේ නමුත් ඔහු මියගොස් තිබෙන්නේ දුරකථන ඇමතුම ලබා ගැනීමට ඉතා සුළු මොහොතකට පෙර බව ස්ථානීය පරීක්ෂාවේදී නිගමනය කෙරිණ.
ඔහු මරණයට පත්වීම හේතුවෙන් ඇමතුම ලබා ගැනීම ව්‍යාර්ථ වී තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පසු ක්‍රියාත්මක වූ පොලිසිය එම නිවසෙහි වූ CCTV දර්ශන පරීක්ෂා කිරීමට සූදානම් වුවද ඒ වනවිටත් එම නිවසෙහි සවි කර තිබූ CCTV කැමරා සහ DVR උපකරණය අස්ථානගත වී ඇති බවට නිරීක්‍ෂණය වී තිබෙනවා.
මෙම නිවස ආවරණය වන පරිදි වෙනත් නිවසක සවිකර තිබූ CCTV දර්ශන මගින් එම මරණය සිදුවූ බවට සැක කෙරෙන ඉකුත් පෙබරවාරි 19 වැනිදා මෙම නිවසට පැමිණි ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් වත්තල පොලිසිය කරුණු අනාවරණය කරගනු ලැබුවා.
එම ත්‍රී රෝද රථය හඳුනාගෙන එහි හිමිකරු ප්‍රකාශයක් ගෙන ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තම පුත්‍රයා විසින් කරපිංචා කැඩීම සඳහා මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇති බවයි.
ත්‍රී රෝද රථ හිමිකරුගේ පුත්‍රයාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන්නේ ඉන් අනතුරුවයි.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ එදින ඔහු කරපිංචා සහ පොල් මිලදීගැනීම සඳහා එම නිවසට පැමිණි බවත් සාමාන්‍ය පුරුද්දක් වශයෙන් ඔහු එම නිවසට කරපිංචා සහ පොල් මිලදීගැනීම සඳහා පැමිණෙන බවයි.
නමුත් එදින ඔහු මියගිය පුද්ගලයාගේ නිවසට ගොස් ඇත්තේ ලහිරු නම් පුද්ගලයෙකුගේ දැනුම් දීම මත බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඔහුගේ ප්‍රකාශය අනුව මීළඟ සැකකරු වශයෙන් හඳුනාගත් ලහිරු නමැත්තා අත්අඩංගුවට ගැනීමට වත්තල පොලීසිය කටයුතු කළ ද ඔහු ඒ වනවිටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
මියගිය පුද්ගලයාගේ සහ මෙම සැකකරුගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමෙන් අනතුරුව දුරකතන වාර්තාවලින් පැහැදිලි වී ඇත්තේ මියගිය පුද්ගලයා පෙබරවාරි 19 වැනිදා රාත්‍රී 8 වෙන තෙක් ජීවතුන් අතර සිට ඇති බවයි.
ඔහු ඒ දක්වාම වට්සැප් යෙදවුම තුළ සක්‍රීයව සිට ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.
සැකකාර ලහිරු නමැත්තාා සොයා දීර්ඝ විමර්ශන සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (02) සවස 5.00 ට පමණ සැකකරු වත්තල ප්‍රදේශයේදී ම අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් වුණා.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී පාපොච්චාරණය කර ඇත්තේ රන්භාණ්ඩ මංකොල්ලකෑමේ අරමුණින් මෙම මරණය තමා විසින් සිදු කළ බවටයි.
සැකකරු විසින් නිවසෙහි සවිකර තිබූ CCTV, DVR උපකරණය සහ මියගිය පුද්ගලයාගේ ජංගම දූරකතනයද කැළෑබද ප්‍රදේශයකට විසි කොට තිබෙනවා.
සැකකරුගේ ප්‍රකාශ අනුව යමින් පොලිස් නිලධාරීන් විසින් මෙම කොටස් සොයාගෙන ඇති බව සඳහන්.
22 හැවිරිදි මෙම සැකකරු, වත්තල ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකි.
ඔහු සහ මෙම මියගිය පුද්ගලයා අතර ටික කලක සිට සම්බන්ධතාවයක් තිබී ඇති අතර ඔහුද කරපිංචා සහ පොල් කැඩීමට නිතර මෙම නිවසට පැමිණි බවට ද ප්‍රකාශ කර තිබෙනවා.
සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර දේපළ සොරා කෑම, අපරාධයක් වසන් කිරීම යන චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් මෙම මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වත්තල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
                                                                    



















