දුව මැරුවේ මම කියලා අම්මා ලියුමක් ලියලා – ගුරුවරියගේ ඝාතනය ගැන ඇසෙන ඇග කිලිපොලා යන කතාව –

129

දේපළ ආරවුලක් දුරදිග යෑමෙන් අයියා විසින් කඹුරුපිටිය දික්වැල්ල විජිත විදුහලේ රූමත් ඉංග්‍රීසි ගුරුවරියක වූ තම නැඟණියට පිහියකින් ඇන යකඩ මල් පෝච්චියකින් හිසට පහර දී ඝාතනය කර ඇතැයි කඹුරුපිටිය පොලිසිය පවසයි.

ඊයේ (31 වැනිදා) අලුයම 3.00ට පමණ සිදුවූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්වී ඇත්තේ කඹුරුපිටිය, මාතර පාරේ පදිංචිව සිටි රජගල්ගොඩගමගේ අයේෂා නිශාමනි නමැති 33 හැවිරිදි අවිවාහක තරුණියක බවත්, ඇය කඹුරුපිටිය නගරයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි උපකාරක පන්තියක ගුරුවරියක බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ඝාතනයට ලක්වූ ගුරුවරියට වැඩිමල් සොයුරියක හා වැඩිමල් සොයුරකු සිටින බවත්, ඇගේ පියා ජීවතුන් අතර නොමැති බවත් එම නිලධාරියා කීය.

ඝාතනයට ලක්වූ ගුරුවරියගේ වැඩිමල් සොයුරිය විවාහ වී මාතර වෙනම පදිංචිව සිටින බවත්, මැය තම මව හා අවිවාහක වැඩිමල් සොහොයුරා සමග ඝාතන සිද්ධිය වූ නිවසේ පදිංචිව සිට ඇති බවත් හෙළිවී ඇත.

නිවසේ දේපළ සම්බන්ධයෙන් මොවුන් අතර නිතර බහින් බස්වීම් සිදුව ඇතැයි හෙළිවූ බවද එම නිලධාරියා කීය.

අදාළ ඝාතනය තමා සිදුකළ බවට හැඟවෙන ලෙසට මව ලිපියක් ලියා තිබූ බවත්, සිය දියණිය ඝාතනයට ලක්වීමෙන් පසු ඇය දියවැඩියාවට භාවිත කරන ඖෂධයක් අධික ලෙස පානය කිරීම හේතුවෙන් නිවස තුළ සිහිසුන්ව ඇදවැටී සිටිය දී කඹුරුපිටිය ආඳපාන මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවත් පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ ගුරුවරිය ද නිවසේ සාලයේ මුනින් අතට වැටී සිටි බවත්, ඇගේ හිසට යකඩ මල් පෝච්චියකින් පහරදී තිබූ බවත්, පිහියෙන් පපු ප්‍රදේශයට ඇන තිබූ බවත්, ඝාතනයට යොදාගත් පිහිය සාලයේ පුටුවක් මත තිබී හමුවූ බවත් නිලධාරියා කීය.

අසල්වැසියන් ලබාදුන් තොරතුරකට අනුව එම නිවසට පැමිණි පොලිස් නිලධාරීන් ඝාතනයට ලක්ව සිටි ගුරුවරියගේ සිරුර සාලයේ එක තැනකත්, සිහිසුන් වී වැටී සිටි මව සාලයේ තවත් තැනකත් සිටිනු දැක තිබේ.

මව හුස්ම ගන්න ආකාරය දැක ඇති පොලිස් නිලධාරීහු එම මවව රෝහල්ගත කිරීමට පියවර ගත්හ.

දුවව ඝාතනය කළේ තමා බවට එම මව ලිපියේ සඳහන් කර තිබුණ ද එම නිවසේ සිටි ඝාතනයට ලක්වූ ගුරුවරියගේ 36 හැවිරිදි වැඩිමල් සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයාගෙන් (ඝාතනයට ලක්වූ ගුරුවරියගේ වැඩිමල් සොයොයුරා) දීර්ඝ ලෙස පොලිසිය ඊයේ සවස් වනතුරුත් ප්‍රකාශ සටහන් කර ගනිමින් තිබිණි.

රෝහල්ගත කර සිටින මවගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ ගුරුවරිය කඹුරුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරියක බවත්, ඇයගෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඇයගේ උපකාරක පන්තියට දරුවන් වැඩි වශයෙන් පැමිණ ඇති බවත් පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ ගුරුවරියගේ මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකරනු ලැබීය.

පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ ආඳපාන රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි.

ගුරුවරිය ඝාතනයට යොදාගත් තියුණු පිහිය සහ යකඩ පෝච්චිය පොලිස් භාරයට ගෙන තිබේ.

කඹුරුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මනෝජ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අජිත් මෙන්ඩිස් මහතාගේ මෙහෙය වීමෙන් පොලිස් සැරයන්වරුන් වන විතාරණ (55944), රත්නායක (3392), පොලිස් කොස්තාපල් මුතුකුමාරණ (86364) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, එල්. ජයවර්ධන – කඹුරුපිටිය සහ මාතර අතිරේක ලලිත් පද්මසිරි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *