රුපියල් ලක්ෂ හැටක් වටිනා මැණික් තොගයක්, සිය සිරුරු වල ගුද මාර්ගයේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපල ‘හරිත මාවත’ ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (31) දින ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරය හා සම්බන්ධ වෘත්තීන් හි නියැලී සිටින 45 හැවිරිදි සහ 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙක්.
මොවුන් දෙදෙනා අද දින පෙරවරු 10.00ට ඉන්දියාවේ, නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මොවුන් කැරට් 300ක් බරැති පුෂ්පරාග සහ නිල්කුරුවින්ද වර්ගවල මැණික් ගල් 54ක්, සිය සිරුරුවල ගුද මාර්ගයේ සඟවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



















