BREAKING NEWS
Search

හැමෝම බලාගෙන ඉන්න වාහන ආනයනය ගැන ඇසෙන අමුතු කතාව

38

වාහනයක් ගැනීම බොහෝ දෙනකුගේ සිහිනයකි. ගැටලුව වන්නේ අපේ රටේ වාහන නිෂ්පාදනය නොකිරීම නිසා වාහන නිෂ්පාදනය කරන ජපානය, ඉන්දියාව ඇතුළු රටවලින් වාහන ආනයනය කරන්න සිදු වීමය. මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයද කොතරම් ගොඩ ගන්නට උත්සාහ කළද කොතරම් පහසුකම් සලසා දුන්නද ඒ හරහා ජනතාවට වාසියක් අත් වන බවක් නම් පෙනෙන්න නැත.

 

ගැටලුව වන්නේ ජපානයේ අලුත්ම මෝටර් රථයක් මිලට ගන්නට යන මිල මෙන් තුන් හතර ගුණයක මිලක් ජපානයේ වසර 3ක් 4ක් පමණ භාවිත කර මෙරටට ගෙන්වා අලෙවි කරනු ලබන වාහනවල මිල ගණන් වීමයි. ඇතැමුන් විහිළුවට මෙන් පවසන්නේ ‘ජපානයට වඩා පොහොසත් මිනිස්සු ලංකාවේ සිටින බවයි. ජපානයේ වාහන මිල මෙන් තුන් හතර ගුණයක් ගෙවා ගන්නට අපට හැකියාව ඇති බවයි’.

කරුණු කෙසේ වුවත් මෙරටට ආනයනය කරනු ලබන වාහනවලින් අධික බදු මුදලක් අය කරනු ලැබේ. ඇත්තෙන්ම ජපානයේදී වාහනයක් අලෙවි කරන මිල මෙන් තුන් හතර ගුණයක බදු මුදලක් මෙරට දී අය කරනු ලැබේ.

මේ නිසා වාහනවල මිල අධික ලෙස ඉහළ ගොස් තිබේ. එහෙත් මෙරට මුදල් විදේශ කරා ඇදී යෑම වැළැක්වීම පිණිස පසුගිය ආර්ථික අර්බුදය හටගැනීමත් සමඟ මෝටර් රථ ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය වෙනුවෙන් ආනයන තහනම් පැනවිණි. සෙසු භාණ්ඩ ආනයන සීමා ඉවත් වුවත් වාහන ආනයන සීමා ඉවත් වූයේ අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් පමණි. විශේෂයෙන්ම සංචාරක සේවාවන්ට හා මඟී ප්‍රවාහන කෘෂිකර්ම ඉදිකිරීම් හැරෙන්නට පෞද්ගලික අවශ්‍යතාවන්ට වාහන ගෙන්වීමට අනුමැතිය හිමි නොවීය.

එහෙත් මහ බැංකුවේ දැනුවත් කිරීම හමුවේ විදෙස් සංචිත රැස් කිරීම අනුව මෝටර් රථ පෞද්ගලික පරිහරණය පිණිස වාහන ආනයනයට ඉඩ ලබා දීමට රජය තීරණය කළේය. ඒ අදියර කිහිපයක් යටතේය. ඒ අනුව ලබන පෙබරවාරි මාසයේ සිට පෞද්ගලික පරිහරණය වෙනුවෙන් මෝටර් රථ ආනයනයට අනුමැතිය ලබා දෙන්නට තීරණය කර තිබේ.

එහෙත් පෙර මෙන් නොව, මෙවර ආනයනය කරනු ලබන වාහන වෙනුවෙන් දැඩි කොන්දේසි පනවන්නට රජය පියවර ගත්තේය. ප්‍රධාන හේතුව වූයේ වාහන ආනයනකරුවන් අධික ලාභ ලබමින් කටයුතු කිරීමය. ඒ වෙනුවෙන් ‘වාහන සේල්‘ පිරෙන්නට වාහන ගෙන්වා ගොඩගසා තැබීම සාමාන්‍ය සිරිත විය.

මෙවර ඒ සියල්ල වෙනස් කර ඇත. රජය මෙවර වාහන ආනයනයට අනුමැතිය ලබා දෙන්නට කටයුතු කර ඇත්තේ නියාමනයක් එසේත් නැත්නම් පාලනයක් ඔස්සේය. ඒ අනුව දැඩි කොන්දේසි ඒ වෙනුවෙන් පනවා තිබේ.

ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ 2024 අංක 14 දරන ආනයන සහ අපනයන (පාලන) රෙගුලාසි ප්‍රකාශයට පත් කරන ලදි. එහිදී වාහන ආනයනය පාලනය කිරීම සඳහා ප්‍රධාන කොන්දේසි 7ක් ප්‍රකාශයට පත් කරන ලදි.

ඒ අනුව,

I. ආනයනය කරනු ලබන මෝටර් වාහන, ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින අනූවක් (90) ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු ය.

II. ආනයනය කරනු ලබන මෝටර් වාහනයක් එකී නියමිත කාල සීමාව තුළදී ලියාපදිංචි කිරීමට නොහැකි වුව හොත්, එවැනි වාහනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන අවස්ථාවේ දී, අදාළ ආනයනකරු විසින් මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් (CIF වටිනාකම) 45% ක උපරිම සීමාවකට යටත්ව, මාසිකව CIF වටිනාකමින් 3% සිට අය කරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ වාහනය ලියාපදිංචි කළ යුතු ය.

III. යම් ආනයනකරුවකු විසින් විකිණීමේ අරමුණ සහිතව ආනයනය කරන වාහන, එකී ආනයනකරුගේ නමට හෝ ව්‍යාපාරයේ නමට හෝ එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන්ගේ නමට ලියාපදිංචි කළ නොහැකි අතර එසේ ආනයනය කරන ලද වාහන ගැනුම්කරුගේ නමට ලියාපදිංචි කළ යුතුය.

IV. යම්කිසි ආනයනකරුවකු මාස හයක් (06) ක් තුළ ආනයනය කරන ලද මුළු මෝටර් රථ වාහන ප්‍රමාණයෙන් 25% ක් මෙම රෙගුලාසි මගින් පනවන ලද දින අනූවක් (90) තුළ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව උල්ලංඝනය කරමින් ආනයනය කළහොත්, එකී ආනයනකරුට වාහන ආනයනය කිරීම අවම වශයෙන් මාස තිස්හයක (36) කාලයකට තහනම් කරනු ලැබේ.

 

V. යම් ආනයනකරුවකු, මෙම ප්‍රකාශිත රෙගුලාසි සහ/ හෝ මෝටර් රථ වාහනයක්/ වාහන ආනයනයට අදාළව දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසිවලට පටහැණිව සංයෝජිත වර්ගීකරණ සංකේතාංකවල 87 වැනි පරිච්ඡේදය යටතේ වර්ගීකරණය වන මෝටර් වාහනයක් ආනයනය කළහොත්, අදාළ මෝටර් වාහනය එකී ආනයනකරු විසින් ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින අනූවක් (90) ඇතුළත ප්‍රති-අපනයනය කළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් දැරිය යුතු සියලු පිරිවැය ද එකී ආනයනකරු විසින් දැරිය යුතු ය.

VI. මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේදී එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ/ ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතු ය.

VII. මෝටර් එන්ජින් භාවිත නොවන නමුත් රෝද සහිත අයිතම ආනයනය කිරීමේ දී, මින් පෙර භාවිත නොකළ (not used) නව අයිතම ආනයනය කළ යුතු ය.

එමෙන්ම මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු ඉහළ නැංවීමටද වාහන ආනයන නිර්ණායක යටතේ පියවර ගෙන ඇත.

එම ප්‍රතිශතය 400% හෝ 500% ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ අලුතින් ආනයනය කරනු ලබන වාහන වෙනුවෙන් බදු වර්ග 4ක් පනවනු ලබන බවයි. ඒ අනුව වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්දක් පැනවේ. ඊට අමතරව සු‍ඛෝපභෝගී බද්දක්ද පනවනු ඇත. එයට වාහනය ජපානයෙන් ගත් මිල, රක්ෂණ ගාස්තු හා නැව් ගාස්තුද එකතු කර (CIF වටිනාකම) එයට 18%ක වැට් බද්දක්ද එකතු කරනු ලබන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිංචිගේ පැවසුවේ ආනයනය කරනු ලබන පෙට්‍රල් ඉන්ධන මෝටර් රථ සඳහා බදු අය කිරීමේ දී එන්ජින් ධාරිතාව 1500ට වැඩි මෝටර් රථ සඳහාද සුඛෝපභෝගී බදු අය කරනු ලබන බවයි. සුඛෝපභෝගී බද්ද කලින් පැවතියේ එන්ජින් ධාරිතාව 2000ට වැඩි වාහන සඳහාය. ඒ අනුව 2020 වසරට සාපේක්ෂව 45% ක පමණ ප්‍රතිශතයකින් වාහන ඉහළ යා හැකි බව සම්පත් මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව ටොයොටා ඇක්වා, කොරොල්ලා, ඇක්සියෝ වර්ගවල මෝටර් රථවල මෙතෙක් පැවති රුපියල් ලක්ෂ 57ක් පමණ වූ බදු, රුපියල් ලක්ෂ 66ක් පමණ දක්වා ඉහළ යන බව ද ඔහු පෙන්වා දෙයි:

“2017 සිට 2019 වසර දක්වා මෙරටට ගෙන්වපු වාහනවලින් 85%ක් විතර ආනයනය කර ඇත්තේ අපියි. මේ තත්ත්වය ගැනත් රජය අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා. මේ වන විට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් යෝජනා කරල තියෙන්නෙ නිෂ්පාදන වර්ෂය අවුරුදු 3ට අඩු මෝටර් රථ වාහන පමණක් මෙරටට ගෙන්වන්න දෙන්න කියල. නමුත් අපි ආණ්ඩුවට පැහැදිලිව පෙන්වා දුන්නා ඒ හරහා අපේ රටේ මුදල් රුපියල් බිලියන ගණනක් විදේශ කරා ඇදී යනවා කියලා.

“ඒ ගැන අපි පැහැදිලිවම විස්තර කළා. පොඩි දරුවෙකුට වුණත් ඒ විස්තරය පැහැදිලිව තේරෙනවා. සාමාන්‍යයෙන් ජපානයේ මෝටර් රථයක් භාවිත කරන්නේ වසර 3ක් පමණයි. ඉන් පසුව අලෙවි කරනවා. නැත්නම් යළිත් කාලයක් එය දීර්ඝ කර ගන්නවා. නමුත් කොවිඩ් අර්බුදයෙන් පස්සෙ ජපානයේ පවා වසර 7ක් පමණ යනතෙක් වාහන භාවිත කරනවා. ඒ තත්ත්වය නිසා ජපානයේ පවා වාහන අලෙවි කරන්නේ නිෂ්පාදන වර්ෂයෙන් වසර 5ක් නැත්නම් 7ක් ඉක්ම ගියාට පස්සෙයි. වසර 3කින් වාහනයක් දැන් අලෙවි කරන්නේ ඉතාම සුළු පිරිසක්. මේ නිසා වසර 3කට අඩු වාහනයක් මිලට ගැනීමේදී ජපානයේ පවා අධික මිලක් ගෙවන්නට වෙනවා. උදාහරණයක් ලෙස ජපානයේ වසර 7ක් පමණ පාවිච්චි කළ විට්ස් මෝටර් රථයක් ලක්ෂ 7කට අඩු මිලකට ලංකාවේ මුදලින් ලබා ගන්න පුළුවන්. නමුත් වසර 3ක් පාවිච්චි කළ වාහනයක් ලංකාවේ මුදලින් නම් ලක්ෂ 40ක් ඉක්මවනවා. එතකොට අපේ රටේ මුදල කොයිතරම් එක් මෝටර් රථයක් වෙනුවෙන් විදේශ රටකට ගෙවන්න වෙනවද කියල බලන්න. අනෙක් කරුණ වසර 3කට වඩා කාලයක් පාවිච්චි කරපු වාහන අඩු නිසා ඒ වාහන මිල ගැනීමේ තරගයක් ඇති වෙනවා. එතකොට ඒ වාහන මිල තවත් ඉහළ යනවා. මේ ඇත්ත තත්ත්වය මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ට නොතේරෙන එකයි අපට තියෙන ප්‍රශ්නය. ජනාධිපතිතුමා පවා කියල තියෙනවා පළමුව වසර 5ක් 7ක් පැරැණි මෝටර් රථ ආනයනයට ඉඩ ලබා දෙමු කියලා. එහෙත් කුමන හෝ සිද්ධියක් නිසා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් රට නැවත ආර්ථික අර්බුදයක් කරා ගෙන යන තැනට පාර කපන්නයි යන්නෙ.”

මේ සම්බන්ධව අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු පැවසුවේ වාහන ආනයනය සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරයා සමයේ සිදු කළ කමිටුවට ආනයන අපනයන පාලක, රේගු නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, වාහන ඒජන්තවරුන්, වාහන තාක්ෂණය සම්බන්ධ විශේෂඥයන් මෙන්ම වාහන ආනයනය කරනු ලබන සංගම්ද සහභාගි වූ බවයි:

“දැන් මේ ඇතැම් සංගම් කියනවා ඒ කමිටුව විසින් ගත් තීරණය නිවැරැදි නැහැ කියල. ඒ කියන්නෙ එයාලට අවශ්‍ය දේ කරන්න බැරි වෙන නිසයි. එහෙම එක එක සංගම්වලට ඕන දේ කරන්න නම් මුදල් අමාත්‍යාංශයක් අවශ්‍ය වෙන්නේ නැහැනෙ. ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඒ ගැන සලකා බැලිය යුතුයි. නමුත් අපිට ලොකු වගකීමක් තියෙනවා රටක් ලෙස. වාහන ආනයනය ගැන විතරක් බලන්න බැහැ. ආර්ථිකය මේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරේ දැඩි දුෂ්කරතා මැද, වාහන ආනයනකරුවන්ගේ ප්‍රශ්න තියෙනවනම් අපි ඒව ගැතත් බලනවා.

“මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිතුමා අපට අවශ්‍ය උපදෙස් ලබා දෙයි. වාහන ආනයනය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ. අපි අදහස් ප්‍රකාශ කිරීමේදී අනෙක් අය ගැන නිසි අවබෝධයෙන් බලා පිළිතුරු ලබා දිය යුතුයි. මම ඒ අය ගැන දැඩි උපේක්ෂාවෙන් බලන්නෙ. එක් එක් අයට සාප කරල ගැටලු ගැන කතා කරන්න බැහැ.”

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සතියකට පමණ පෙර වාහන ආනයනය සම්බන්ධ සිය මතය හෙළි කළේය. ඔහු පැවසුවේ වර්තමානයේ මෙරට ඇති වාහනවල වෙළෙඳපොළේ වටිනාකම වෙනස් නොවන ලෙස අලුත් වාහන ගෙන්වීමට ඉඩ දීම සුදුසු බවයි. ඒ අනුව යම් අයකුට අලුත් රථයක් අවශ්‍ය වන්නේ නම් ඔවුන්ට වැඩිපුර මුදලක් ගෙවා අලුත් වාහනයක් ලබා ගැනීමට හැකියාව ඇති බව ඔහු පෙන්වා දුන්නේය:

“පෙර වාහන ආනයනහයේ දී තිබුණ විනිමය අනුපාතය සහ දැන් විනිමය අනුපාතය අතර සෑහෙන වැඩිවීමක් තියෙනවා. ඊට අමතරව වැට් බද්ද 18% ක් අලුතින් එකතු වෙනවා. ඒ අනුව වෙළෙඳපොළේ පැරැණි මිලටම අලුත් වාහනයක් රැගෙන ඒමට අවස්ථාව ලබා දුන්නොත් සියලුම පරණ වාහනවල වටිනාකම නැතිවෙලා අනවශ්‍ය ලෙසින් අලුතින් වාහන විශාල ප්‍රමාණයක් රටට ගලා ඒම සිදු වෙනවා. එහෙම තත්ත්වයක් ඇති නොවිය යුතුයි. තිබෙන වාහන මිල අධික ලෙස පහළ ගියොත් බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලට ඒ තත්ත්වය අහිතකර ලෙස බලපාන්නත් පුළුවන්. කොහොම වුණත් රජය මෙරට විනිමය ප්‍රශ්නයට බලපෑමක් නොවෙන ලෙස සුදුසු පරිදි වාහන ආනයනය සදහා ඉඩදීමේ තීරණයක් ගනියි.”

කෙසේ හෝ මේ වනතෙක් රජය වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අවසන් ප්‍රතිපත්තියක් හා ක්‍රමවේදයක් ලබා දී නැත.

තාරක වික්‍රමසේකර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *