හබරණ පොලිස් වසමේ පලුගස්වැව ප්‍රදේශයේ නිවසක බිලිඳෙකු 16 වන දින රාත්‍රියේ මියගොස් ඇති සංවේදී පුවතක් ඊයේ (17) හබරණ පොලිස් ස්ථානයෙන් වාර්තා වුණා.
පොලිස් ස්ථානයට ලද පැමිණිල්ල අනුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, මිය ගිය බිලිඳා වයස මාස 10ක් වන බුලනගම, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක් බවයි.
එම බිලිඳා සිය මව, පියා සහ සහෝදරයා සහ සහෝදරිය සමග ඉහත ලිපිනයේ පදිංචිව සිට තිබේ.
කෙසේ නමුත් පියා නිවසින් බැහැර ගොස් සිටියදී, එනම් 16 වනදින රාත්‍රී කාලයේදී නිවස පිටුපස ඇති වතුර වළකට දරුවා දමා නැවත ගොඩටගෙන නිවසේ ඇඳ මත තැබූ බවට මව විසින් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවත්, අපරාධය සම්බන්ධයෙන් මිය ගිය බිලිඳාගේ මව අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 34ක් වන පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, හබරණ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




















