ඔරුගොඩවත්ත, තොටළඟ ඇතුළු මාර්ග දෙපස දින කිහිපයක සිට බහාලුම් ප්‍රවාහන රථ සහිත දිගු පෝලිම් දක්නට ලැබෙනවා.
රියදුරන් පවසන්නේ, බහාලුම් නිෂ්කාශනය සම්බන්ධයෙන් රේගුවේ පවතින ප්‍රමාදය හේතුවෙන් තමන්ට මෙලෙස දින ගණනක් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවයි.
එමෙන්ම පසුගිය දින කිහිපය පුරා බහාලුම් විශාල ප්‍රමාණයක් නිදහස් කරගත නොහැකිව වරාය පරිශ්‍රයේ රඳවා තිබූ බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
දෛනිකව රේගුවෙන් බහාලුම් 1,800ක් නිදහස් කළ යුතු වුවත් මේ වනවිට ඉන් නිදහස් කෙරෙන්නේ, බහාලුම් 700ක් පමණ බව, බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා වාප්පු සේවා සංගමය චෝදනා කරන්නේ, මේ හේතුවෙන් දෛනිකව බහාලුම් 500ත් 600ත් අතර ප්‍රමාණයක් රේගුව තුළ සිරවන බවයි.
එයට හේතුව පෞද්ගලික ආයතනයක් මගින් රේගු පරීක්ෂණ කිරීම බව ද ඔවුන් පෙන්වා දෙනවා.
ආනයනික බහාලුම්වලින් 60%ක්ම පරීක්ෂා කිරීම්වලින් තොරව නිදහස් කරන අතර, උද්ගතව ඇති ප්‍රමාදය වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් ද පැවැත්වුණා.
ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, විෂය භාර අමාත්‍යවරුන් සහ ගැටලුවට මුහුණ දෙන බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සහ වාප්පු සේවා සංගමය ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.
එහිදී ආනයන අපනයන ආයතන නියෝජිතයින් පෙන්වා දෙන්නේ, පසුගිය සති 3ක කාලය තුළ මෙරටට පැමිණි නැව් 24ක් පමණ වෙනත් රටවල වරායන්වලට හරවාගෙන ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ නැව් 24ක් නොව නැව් 30ක් මෙම සති දෙක තුල රේගුවේ පවතින තදබදය හේතුවෙන් හරවා ගොස් ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, හදිසි ප්‍රශ්න සඳහා හදිසි පිළිතුර සෙවුය හැකි නමුත් සමහර ගැටළු සඳහා හදිසි පිළිතුරු සෙවිය නොහැකි බවයි.
ඒ අනුව, නිවාඩු දිනයන්වල දී දිවා රාත්‍රී සේවා කටයුතු කර බහාලුම් තදබදය අවසන් කිරීමට මෙහිදී සියලු පාර්ශ්ව එකඟතත්වයකට පැමිණ තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

















