BREAKING NEWS
Search

සියළු දෙනා නිදාගෙන ඉදලා – රෝහලේ සිටි දින 12ක පුංචි මල් කැකුලට අත් වූ සෝචනීය ඉරණම

40

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

බිළිඳාගේ දෙමාපියන් චෝදනා කරනුයේ රෝහල් කාර්ය මණ්ඩලය විසින් නොසැලකිලිමත් අයුරින් ලබා දුන් මව් කිරි හේතුවෙන් බිළිඳා මිය ගිය බවය.

මෙලෙස මියගොස් ඇත්තේ යුගාන් උදයංග නමැති දින දොළහක් වයසති බිළිදෙකි.

පසුගිය 27 දා කාසල් කාන්තා රෝහලේ දී උපත ලැබූ පිරිමි බිළිදෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා එදිනම හෝමාගම මූලික රෝහලට මාරු කර තිබිණි. ඒ බිළිඳාගේ උපත අඩුබර උපතක් නිසාය.

පසුව එහි දින දොළහක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 08 දා අලුයම දරුවාට කිරි දීම සඳහා මව බිළිඳා ළඟට ගිය අවස්ථාවේදී බිළිදා කිරි වමනය කොට ඇග සීතලව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම පිළිබඳව සැක සිතී ඒ පිළිබඳව දැනුවත් කිරීමට වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලය සොයා තිබේ.

එහෙත් කිසිවකුත් සොයාගැනීමට නොහැකි වී ඇති අතර අනතුරුව තවදුරටත් සොයා බැලීමේදී රෝහල් කාර්ය මණ්ඩලයේ සියළු දෙනා නිදා සිටින අයුරු දැක ඔවුන්ට දැනුම් දී තිබේ

පසුව බිලිඳා වෛද්‍යවරයාට යොමු කිරීමේදී පවසා ඇත්තේ කිරි පෙනහළුවලට ගොස් සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ඒ අනුව ඊයේ (09) දින බිලිඳාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මව් කිරි බිළිදාගේ පෙනහළුවල සිරවීමෙන් බිළිඳා මියගොස් ඇති බවය.

දෙමාපියන් මෙහෙිදී චෝදනා කරමින් පැවසුවේ මෙවැනි සිදුවීමක් තවදුරටත් සිදු නොවීමට බලධාරීන් වගකිය යුතු බවත් මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකොට තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසය.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව බිළිඳාගේ මා පියන් හෝමාගම මූලස්ථාන පොලීසියටද පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධව රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය එරංගා රාජපක්ෂ මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ සිද්ධිය සම්බන්ධව තමන් වෙත පැමිණිල්ලක් ලද බවත් මේ සම්බන්ධව අපක්ෂපාතීව පරීක්ෂණයක් සිදුකර සාධාරණයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *