විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවල පිහිටි තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි ඩිජිටල් පහසුකම ආරම්භ කිරීම අද සිදු කෙරුණා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් ලෙසින්.
විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මෙම වෙබ් අඩවිය අමාත්‍ය විජිත හේරත් විසින් විවෘත කළ බව සඳහන්.
තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.
ඒ අනුව ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙම අවස්ථාව උදා වනු ඇති.
මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.




















