BREAKING NEWS
Search

මාත් එක්ක ඉල්ලපු ගේම තාම මට මතකයි. මීගොඩ ව්‍යාපාරිකයා ඝාතන සුලමුල ඔත්තුවෙන් එළියට ආවේ මෙහෙමයි…

40

පසුගිය 2024 වසර තුළදී පමණක් වෙඩි තැබීම් 100කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බව පොලිස් සංඛ්‍යා ලේඛනවලින් හෙළි වී තිබේ.

පසුගිය කාලයේ වාර්තා වූ වෙඩි ප්‍රහාර අතරින් බොහොමයක් ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි අතර ගැටුම් හේතුවෙන් සිදුවූ ඒවා බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

එසේම එලෙස වෙඩි ප්‍රහාර එල්ල කරගනිමින් ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි අතර සිදුවන ගැටුම්වලට මූලික ලෙසට ම හේතුවී තිබෙන්නේ එම පාතාල කල්ලි අතර පවත්නා මත්ද්‍රව්‍ය ජාවාරම නිසා හටගෙන තිබෙන ආරවුල්ය.

පොලිසිය බොහෝ අපරාධවලට වගකිවයුතු වෙඩික්කරුවන්, සැලසුම්කරුවන් ඇතුළු ආධාර අනුබල දෙන අය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවා රෑ නොබලා සිදු කරන විමර්ශන නිසාය.

මිනිස් ජීවිත පිළිබඳව ‘තුට්ටුව‘කට මායිම් නොකර පාතාලය මෙලෙස වෙඩි තැබීම් සිදු කරද්දී ඉකුත් දෙසැම්බර් 14 වැනිදා පුන් පෝ දින මීගොඩ පොලිස් වසමෙන් ද වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් වාර්තා විය. එදින ඝාතනය කෙරුණේ 32 හැවිරිදි පොල්ලු පතිරගේ නලින් සඳුන් තරංග කල්දේරා හෙවත් බාබාය.

ඔහු මීගොඩ නගරයේ හාඩ්වෙයාර් වෙළෙඳසලක් පවත්වාගෙන ගිය අයෙකි. සඳුන් තරංග කුඩා දරුවකුගේ පියෙකි. ඔහුගේ බිරිය සමෘද්ධි බැංකුවේ රැකියාවේ නිරතව සිටියාය.

මීගොඩ, ඕවිටිගම, නාගහවත්තේ නිවෙසක පදිංචිව සිටි සඳුන් 14 වැනිදා රාත්‍රියේ ඔහුගේ වැඩිමල් සහෝදරයා වන උදාර මධුසංඛගේ නිවෙසේ පැවති සාදයකට ගොස් තිබුණේ සිය බිරිය සහ දරුවා සමඟ ඔහුට අයත් කාරයෙනි. එදින සාදය අවසානයේ සඳුන්, බිරිය සහ දරුවා සමඟ කාරයෙන් නැවත සිය නිෙවසට යාමට පිටත්ව තිබුණේ රාත්‍රී 11.15ට පමණය.

එලෙස මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ මාර්ගය අවට කැලෑරොදකින් සමන්විත ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියදී එක්වරම කැලෑවේ සිට මාර්ගයට පිවිසි දෙදෙනකු නිසා සඳුන් කාරයේ වේගය පාලනය කරද්දී එක් අයකු සඳුන් තරංගට වෙඩි තබා තිබුණේ ඔහුගේ බිරිය සහ දරුවා බයභිරාන්තව සිටියදීය.

කෙසේ හෝ බිරියට හෝ දරුවාට එම වෙඩි ප්‍රහාරයෙන් කිසිම හානියක් නොවුණේ වෙඩික්කරුගේ ඉලක්කය සඳුන් පමණක් වීම නිසාය. වෙඩි වැදුණු සඳුන් තරංග හෝමාගම මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගියේය.

එම සාහසික අපරාධය පිළිබඳ මීගොඩ පොලිසියට වාර්තා වීමත් සමඟ එහි ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිදු කරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වූයේ සඳුන් ඝාතනය සඳහා වෙඩික්කරු යොදාගෙන තිබුණේ ටී56 ගිනිඅවියක් බවය. එම ස්ථානයේ තිබී පොලිසිය විසින් ටී56 ගිනිඅවියට භාවිත කරන හිස් පතොරම් උණ්ඩ තුනක් සොයා ගැනිණි.

එම ඝාතනයේ මූලික විමර්ශන එලෙස සිදු වෙද්දී සැකකරුවන් සොයා මීගොඩ පොලිසිය ද විමර්ශන සිදු කළේ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ ද උපදෙස් මතය. එහෙත් සඳුන් අපරාධවලට හෝ වෙනත් කිසිම ජාවාරමකට සම්බන්ධ නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වීමත් සමඟ සඳුන් එලෙස වෙඩි තබා ඝාතනය කිරීමට තරම් කිසිවකුටත් වුවමනාවක් නොතිබූ හෙයින් පොලිසියට සැකකරුවන් සොයා සිදු කරන විමර්ශනවලට සාර්ථක හෝඩුවාවක් සොයා ගැනීමට අපහසුතාවක් පැනනැඟී තිබිණි.

මේ අතර සඳුන්ගේ ඝාතනය පිළිබඳව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණියගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කීපයක්ද විමර්ශන සිදු කළේය. එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත එම විමර්ශනය සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ද එක් විය.

ඒ අනුව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජේ.එච්.එම්.එන්. ජයපත්මගේ උපදෙස් මත එම කොට්ඨාසයේ අපරාධ මෙහෙයුම් පිළිබඳ සහකාර පොලිස් අධිකාරි ජනක කුමාරගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් ඒකක 2 හි ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චින්තක දසනායක ඇතුළු කණ්ඩායම ද විමර්ශනවලට එක් වූහ.

එම ඒකකයේ නිලධාරින් සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව සඳුන් තරංග ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ඝාතනයට යොදාගත් ටී56 තුවක්කුව සහ ඊට යොදන ජීව උණ්ඩ 26ක් සමඟ වළ දමා සඟවා තිබියදීය. ඊට අමතරව වෙඩික්කරු පැමිණි ත්‍රිරෝද රථයක් සහ මීගොඩ ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ නිවෙස්වලට වෙඩි තැබීමේ සුලමුල ද එම සැකකරුවන්ගේ පාපෝච්චාරණ අනුව හෙළිදරව් විය.

එලෙස බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාස ඒකක 2හි ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චින්තක දසනායක ඇතුළු කණ්ඩායම මේ ගැන සියලු තොරතුරු හෙළිකරගන්නේ සඳුන් තරංග ඝාතනයෙන් දින 5ක් ඉක්ම යද්දීය. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී එම ඝාතනයේ සුලමුල පොලිස් නිලධරයන් හෙළිකරගන්නේ මෙසේ ය.

සඳුන් තරංගගේ ඝාතකයන් සොයා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කරමින් සිටියදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ ඒකක 2හි සැරයන් 56805 ගුණසේකරට ඉකුත් දිනෙක සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් විශ්වසනීය තොරතුරක් ලැබිණි.

“සාජන් මහත්තයා… මීගොඩ මර්ඩර් එක ගැනයි මම මේ කතා කරන්නේ… සඳුන් තරංගට ගැහුවේ කසුන් කියන එකා… ඒකා මීගොඩම එකෙක්…“ යැයි තොරතුරුකරු එම ඝාතනයේ සැකකරුවන්ගේ බොහෝ තොරතුරු සැරයන් ගුණසේකරට පැවසීය. එතෙක් සඳුන් තරංග ඝාතනයේ අගක්-මුලක් සොයා ගැනීමට නොහැකිව සිටි විමර්ශන නිලධාරින්ට එය ‘නියම‘ තොරතුරක් විය. එම තොරතුර ඔස්සේ කසුන් ගැන විමසිල්ලෙන් සිටි බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ඉකුත් 19 වැනිදා ලැබුණු තවත් තොරතුරකින් කියැවුණේ කසුන් සිය බිරිය පුවක්පිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ලොකු අයියාගේ නිවසට ඇරලවා නැවත එමින් සිටින බව සඳහන් කරමිනි.

ඒ අනුව ක්‍රියාත්මක වූ එම කොට්ඨාසයේ ඒකක 2හි නිලධාරින් 19 වැනිදා දහවලේ කසුන් අත්අඩංගුවට ගත්තේ මීගොඩ, පුවක්පිටිය මාර්ගයේදීය. එලෙස කසුන් අත්අඩංගුවට ගැනුණේ අයිස් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 500ක් සමඟිනි. සඳුන් තරංග ඝාතනයේ තොරතුරු හෙළි වන්නේ අනතුරුවය.

කසුන් යුද හමුදාවෙන් පලා ආ එක්දරු පියෙකි. ඔහුගෙන් පොලිස් නිලධාරින් ප්‍රශ්න කරද්දී කසුන්, සඳුන් ඝාතනය කළ බව පිළිගත්තේය. කසුන්ගේ නිවෙස් ආසන්න කසිප්පු ජාවාරම්කරුවකු වන සුදුවා නමැත්තා සමඟ ගොස් සඳුන් ඝාතනය කළ බව ඔහු පිළිගත්තේය. එසේම පොලිස් නිලධාරින්ගේ ප්‍රශ්න කිරීම් මත කසුන් තවත් බොහෝ තොරතුරු පාපෝච්චාරණය කළේය..

“කෝ… එතකොට වෙඩි තියපු තුවක්කුව…?“ යැයි පොලිස් නිලධාරියෙක් කසුන්ගෙන් ප්‍රශ්න කළේය.

“සර්… ඒක මං පිට්ටනිය පාරේ කෙළවර වෙල අයිනේ හැංගුවා…“ යැයි කසුන් පැවැසීය. ඒ කසුන් අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට ආසන්න ස්ථානයකි.

“ඇයි… තමුන් සඳුන්ව මැරුවේ…?“ තවත් නිලධාරියෙක් ප්‍රශ්න කළේ එලෙසිනි.

“මට මේ වැඩේ කරන්න කිව්වේ පොඩි දනා…“ යැයි කසුන් කීමත් සමඟ සඳුන්ගේ ඝාතනය ද මීගොඩ පොඩි දනාගේ තවත් අපරාධයක් බව හෙළි විය.

මීගොඩ පොඩි දනා 27 හැවිරිදිය. ඔහු මනුෂ්‍ය ඝාතන චෝදනාවකට බන්ධනාගාරගතව සිට මීට මාස තුනකට පමණ පෙරදී ඇප මත පැමිණ සැඟවී සිටින අපරාධකාරයෙකි. කසුන්, පොඩි දනාගේ පාසල් අවධියේ සිටම එකම පන්තියේ සිටි මිතුරෙකි. මීට වසරකට පමණ පෙරදී පැවැති සාදයකදී පෙඩි දනා සහ සඳුන් අතර ආරවුලක් ඇතිවී තිබිණි. එය සාමාන්‍ය ආරවුලකි. එම ආරවුලෙන් ඇතිවූ වෛරයත් සමඟ පොඩි දනා මනුෂ්‍ය ඝාතනයකට බන්ධනාගාරගත වි තිබිණි.

ඔහු මීට මාස තුනකට පමණ පෙරදී ඇප මත පැමිණීමෙන් පසු සඳුන් සමඟ තිබූ වෛරය නැවත පැනනැඟීම නිසා මෙකී ඝාතනය සැලසුම් කළ බව කසුන්ගේ පාපෝච්චාරණයෙන් හෙළි විය. ඒ අනුව සඳුන් සමඟ පැවති ආරවුල සිතේ තබාගෙන සිටි පොඩි දනා සඳුන් ඉවරයක් කිරීමට සැලසුම් කළේ කසුන් ඇතුළු පාසල් සමයේ මිතුරන් කීපදෙනෙකුගේ සහාය ලබා ගනිමිනි.

සඳුන් ඝාතනය වූ 14 වැනිදා දිනට, දින තුනකට පමණ පෙරදී ටී56 තුවක්කුවක් රැගෙන කසුන් හමුවීමට පොඩි දනා පැමිණියේය.

“කසුන්… සඳුනයා… ඉවරයක් කරලා දාන්න ඕනේ… ඒකා මාත් එක්ක ඉල්ලපු ගේම තාම මට මතකයි… ඌ දන්නේ නෑ… මං කවුද කියලා…“ යැයි වහසි බස් කියමින් පොඩි දනා කසුන්ට ටී56 තුවක්කුව දී ගියේය.

කසුන් අත්අඩංගුවට ගත් සැණින් පොලිස් නිලධාරින් කණ්ඩායම ගියේ සඳුන් ඝාතනයට කසුන් ඇතුළු කණ්ඩායමට නවාතැන් සලසා දුන් මීගොඩ, කුරුඳුවත්තේ පිහිටි නිවෙසකටය. එම නිවෙසේ පදිංචිව සිටියේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ රැකියාව කළ චතුර නමැති අයෙකි. එම නිවසේ සිටියදී චතුර ද අත්අඩංගුවට ගත්තේ කසුන් අත්අඩංගුවට ගත් 19 වැනිදාමය. එදිනම සඳුන් ඝාතනයට කසුන් සහ සුදුවා පැමිණි ත්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය.

එලෙස අත්අඩංගුවට ගත් කසුන් සහ චතුර පොලිස් නිලධාරින් විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක රැඳවුම් නියෝගයක් ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කළේය. දෙදෙනාගෙන් එලෙස ප්‍රශ්න කිරීමේදී කසුන් සමඟ සඳුන් ඝාතනයට ගිය සුදුවා ගැන වැඩිදුර තොරතුරු හෙළි විය. සුදුවා ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කාරයෙකි. ඔහු කසුන්ගේ නිෙවස ආසන්නයේ පදිංචිකරුවෙකි.

පොඩි දනාගේ ඉල්ලීම ඉටු කිරීමට කසුන්, සුදුවා ද කැමැති කරවාගෙන තිබුණේ ඔහුට සියලු තොරතුරු පැවසීමෙන් පසුවය. කසුන්ගේ වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සුදුවා ගැන හෙළිවීමත් සමඟ ඔහු අත්අඩංගුවට ගත්තේ ඉකුත් 21 වැනිදාය. ඒ අතර සඳුන් ඝාතනය සඳහා ඔත්තු බලමින් සහාය දුන් තැනැත්තෙක් ද විය. ඔහු ගයාන්ය. ගයාන් ද එදිනම අත්අඩංගුවට ගැනිණි. ගයාන් සඳුන් තරංග සාදයට ගිය ඔහුගේ වැඩිමල් සහෝදරයාගේ නිෙවස ඉදිරිපිට නිෙවසේ පදිංචි පුද්ගලයෙකි. සඳුන් 14 දා එම සාදය අවසන්ව රාත්‍රී 11.15ට පමණ එම නිවෙසෙන් පිටත්වූ සැණින් කසුන්ට ඔත්තුව ලබා දුන් තැනැත්තා බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිදරව් විය.

කසුන් සහ සුදුවා, සඳුන් ඝාතනය කළ ස්ථානය ආසන්නයට රැගෙන ආ කසුන්ගේ ත්‍රිරෝද රථය ධාවනය කළ කසුන්ගේ මල්ලි ද එදිනම අත්අඩංගුවට ගැනිණි. එම තිදෙනාම 21 දා දහවල් අත්අඩංගුවට ගත්තේ ගොඩගම ක්‍රීඩා පිටියක් අසල සිටියදීය. ඒ කසුන් සහ චතුර අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමඟ තිදෙනා ප්‍රදේශයෙන් පලා යාමට සැලසුම් සකස් කරමින් සිටියදීය.

සඳුන් ඝාතනය කළ වෙඩික්කරුවා වන කසුන් ද කසිප්පු ජාවාරමේ නිරත වන අතරේ ත්‍රිරෝද රථයක් ‘හයර්‘ කරමින් සිටි අයෙකි. ඔහු ද එක්දරු පියෙකි. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් එලෙස අත්අඩංගුවට ගත් පිරිසගෙන් ප්‍රශ්න කළේ සඳුන් ඝාතනයට පොඩි දනාගෙන් ලැබුණේ මොනවා ද යන්න ගැන විමසමිනි.

“සර්… අපිට පොඩි දනාගෙන් මුකුත්ම ලැබුණේ නැහැ… අපි මේ දේ කළේ පොඩි දනාට තියෙන ෆිට් එක නිසා…“ යැයි එම පිරිස පැවසීය. එහෙත් පොඩි දනා මේ ඝාතනයෙන් පසු සුදුවාට සැඟවී සිටීම සඳහා රුපියල් 15000ක මුදලක් දී තිබූ බව සුදුවා පැවසීය. අත්අඩංගුවට ගත් පස්දෙනාගේ පාපෝච්චාරණ මත ඉකුත් 22 වැනිදා තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුණේ සඳුන් තරංග ඝාතනයට සහාය දීම නිසාය. ඒ මයියා සහ ටෙන්ටාය. එලෙස අත්අඩංගුවට ගත් මයියා සහ ටෙන්ටාගෙන් ප්‍රශ්න කිරීමේදී පසුගිය කාලයේ මීගොඩ ප්‍රදේශයේ නිවෙස් කීපයකට වෙඩි තබා පලා යාමේ සිදුවීම්වලට අදාළ තොරතුරුද හෙළිදරව් විය. ඒ අනුව එම වෙඩි තැබීම් සඳහා යොදාගත් පිස්තෝලය ද බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සොයාගන්නා ලදි. එම වෙඩි තැබීම් ද පොඩි දනාගේ මෙහෙයවීමෙන් සිදුවී තිබිණි.

පොඩි දනා ද මෙහෙයවන්නේ දැනට විදේශගතව සිටින හඳපාන්ගොඩ හඳයා නමැති අපරාධකාරයා විසින් බව පොලිසිය සිදු කරන විමර්ශනවලදී මේ වන විට හෙළි වී තිබේ.

සඳුන්ගේ අවමංගල්‍යයට ද සහභාගි වෙමින් කසුන් ඇතුළු සඳුන්ගේ ඝාතනයට වගකිවයුත්තන් දින පහක් පුරා එම ප්‍රදේශයේ සැරිසරමින් සිටියද සැරයන් 56805 ගුණසේකරට ලද විශ්වසනීය තොරතුර සමඟ සඳුන් තරංග ඝාතකයන් එලෙස කොටුකර ගැනීමට පොලිසියට හැකි විය.

මේ අතර සඳුන් තරංග ඝාතනය මෙහෙයවමින් පොලිසියට කට්ටි පනිමින් සිටි පොඩි දනා ඉකුත් 30 වැනිදා සවස් යාමයේ බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ භාර වී තිබිණි. ඔහු මෙකී ඝාතනය මෙහෙයවූ තැනැත්තා පමණක් නොව පසුගිය කාලයේ මීගොඩ පොලිස් වසමේ සිදුවූ නිවෙස්වලට වෙඩි තැබීම් සිදුකළ පුද්ගලයා ද වන බව අනාවරණය වේ.

එලෙස පොඩි දනා විසින් නිවෙස් දෙකකට වෙඩි තබා තිබුණේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාස නිලධරයන් විසින් සොයාගන්නා ලද පිස්තෝලයෙනි.
අමිල මලවිසූරිය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *