මැතිවරණ වේදිකාවේ ජනාධිපතිවරයා සඳහන් කළ ඉන්ධන මිල අඩුකිරීම සහ එවක හිටපු විෂයභාර අමාත්‍යවරයාට යන කොමිස් මුදල ගැන මාධ්‍යවේදීන් වෙළඳ වානිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් අද (03) විමසීමක් කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා සිදුකළ එම කතාවේ ඉන්ධන ගණන්වල වැරදීමක් ඇති බවයි.
එමෙන්ම ඉන්ධන ලීටරයකට රුපියල් 102ක බද්දක් ඇති බවත්, එම බද්දෙන් රුපියල් 50ක් ණය ගෙවීම වෙනුවෙන් වෙන් කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර, සහල් ආනයනය සඳහා ලබාදී තිබූ අවසරය ලබන 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් පසු නිල වශයෙන් අවසන් කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඉන් පසුව අනවසරයෙන් සහල් ආනයනය කළහොත් ඒවා ආපසු හරවා යවන බවයි විෂයභාර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 63ක් සඳහා පැවති බදු තවදුරටත් පවත්වා ගැනීමට රජය ගෙන ඇති තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ඉලක්ක කරා යාමට ඉවහල්වන බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 63ක් සඳහා මෙතෙක් පැවති බදු අනුප්‍රමාණයන් තවදුරටත් පවත්වා ගෙන යාමට අදාළ ගැසට් නිවේදනය මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඊට පරිප්පු, සුදු සීනි, අර්තාපල්, ලොකුළූණු, රතුළූණු, ටින් මාළු, පොල්තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් ඇතුළත්.
කෙසේ වෙතත් එම භාණ්ඩ මත පනවා ඇති අදාළ බදු අඛණ්ඩව පවත්වාගෙන යාමටයි රජය තිරණය කර ඇත්තේ.
මේ අතර 2024 වර්ෂය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් වර්ෂයකදී රැස්කළ ඉහළම බදු ආදායම උපයා තිබෙනවා.
ඒ අනුව රුපියල් මිලියන 1,958,088ක බදු ආදායමක් උපයා ඇති අතර 2023 වර්ෂයට සාපේක්ෂව එය 25.1%ක වර්ධනයක් බවයි දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
එහිදී වැඩිම බදු ආදායමක් රැස්කර ඇත්තේ ආදායම් බදු වශයෙන් වීමත් විශේෂත්වයක්.
මේ අතර සහල් වෙළෙඳපොළේ තවදුරටත් කැකුළු සහල් නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් අම්පාර දිස්ත්‍රික්කයේ සහල් මෝල් සහ වී ගබඩා පරීක්ෂා කිරීම සිදුකළේ මෙවන් පසුබිමකයි.
එමෙන්ම සහල් ආනයනය සඳහා ලබාදී ඇති අවසරය ලබන 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් අවසන්වන බවයි විෂයභාර අමාත්‍ය වසන්ත සමරසිංහ පවසන්නේ.


















