ඉරිදා උදෑසන නවය පසු වී සුළු වේලාවක් ගත වූ පසු ‘මුවාන් ’ (දකුණු කොරියාවේ ) ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමට ගිය ‘ ජෙජූ’ ගුවන් සේවයට අයත් ගුවන් යානය එක්වරම ගුවන් ධාවන පථයට ගොඩබැස්සවීමට නොහැකි වීම නිසා එය රවුමක් කැරකුණා. පසුව එය ගොඩබැස්සවුද පසුද ගුවන් යානයේ කිසියම් ගැටලුවක් පැවැති බව එය ධාවනය වූ ආකාරයෙන් පෙනී ගියා. ගුවන් යානය ධාවන පථයට ගොඩබැස්සවූ පසු එය ගුවන් තොටුපළේ බිත්තියක ගැටීමට පෙර එහි දකුණු තටුවෙහි ගිනි පුපුරක් හටගත් අතර පසුව එය ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන ගුවන් තොටුපළේ බිත්තියක ගැටී පුපුරා ගියා යැයි පෙරේදා (29දා) උදෑසන දකුණු කොරියාව මෙන්ම ලොවම කම්පා වෙමින් දකුණු කොරියාවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුර සියැසින් දුටු පිරිස් විදෙස් මාධ්‍යයට පවසා තිබේ. මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි හෝටලයක හිමිකරු වන ඉම් යන්ග් හක් බී. බී. සී. ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ ගුවන් තොටුපළ දෙසින් තුනී කළු පැහැති දුමක් නිකුත් වූ බවත් තමා හෝටලයෙන් පිටත පැමිණ බැලුවිට දී විශාල පිපිරීම් හඬක් නිකුත් වූ අතර අනතුරුව තවත් පිපිරීම් හතක් පමණ සිදු වූ බවයි. එම පිපිරීම් ශබ්දවලට අනුව ඒවා ඉන්ධන ටැංකි පිපිරීමෙන් හටගත් ශබ්ද යැයි තමා සිතූ බවත්ය.

මුළු ලොවම කම්පා වෙමින් ඉරිදා උදෑසන සිදු වූ දකුණු කොරියාවේ ජෙජු ගුවන් සේවයට අයත් මගින් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 181 දෙනකු රැගත් 7 සී 2216 දරන මගී ගුවන් යානයේ අනතුර දශක ගණනාවකින් දකුණු කොරියාවේ සිදුවූ දරුණුම ගුවන් අනතුර ලෙස එරට බලධාරීන් විසින් නම් කර ඇති අතර ඉන් මගින් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 179 දෙනකු මියගොස් ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු යානයේ සුන්බුන් අතර සිර වී සිටිය දී බේරාගෙන තිබේ. මෙම ගුවන් යානා අනතුරට මුල්වූ නිශ්චිත හේතුව මුලදී අනාවරණය වී නොතිබුණ ද ඊයේ (30දා) උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් දකුණු කොරියානු ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරියකු පවසා ඇත්තේ ගුවන් යානයේ නියමුවා යානය අනතුරට පත් වීමට පෙර කුරුලු රංචුවක් යානයේ ගැටුන බව ගුවන් ආරක්ෂණ පාලක මැදිරිය වෙත දැනුම් දී ඇති බවත් යානය අනතුරුදායක තත්ත්වයක පසුවන බවට ද සංඥා කර ඇති බවයි. අනතුරට පත් ගුවන් යානය ගුවන් තොටුපළේ බිත්තියක ගැටීමෙන් පසු එය පුපුරා ගොස් ඇත්තේ ගිනි බෝලයක් බවට පත් වෙමින් බවත් යානය සම්පූර්නයෙන්ම විනාශ වී ගොස් ඇති බව වාර්තා වී තිබේ. මෙම අනතුරෙන් මියගිය බහුතරය දකුණු කොරියානු ජාතිකයන් වන අතර දෙදෙනකු තායිලන්ත ජාතිකයන් බව අනාවරණය වී තිබේ. මෙම ගුවන් යානා අනතුරෙන් මියගිය පිරිස වයස අවුරුදු 3 සිට 78 දක්වා වූ වයස්වල පසුවන අතර ඒ අතර වයස අවුරුදු 10ට අඩු ළමුන් පස්දෙනකු සිටින බවද වාර්තා වී තිබේ.
මියගිය පිරිස අතර එකම පවුලක පරම්පරා තුනකට අයත් සාමාජිකයන් පස්දෙනකු සිට ඇති බවද වාර්තා වී තිබේ. අනතුර පිළිබඳව සැල වූ වහාම එම ස්ථානයට දිව විත් ඇති ගුවන් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් හඬා වැළපෙමින් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ තම ඥාතීන්ගේ මළ සිරුරු තමන් වෙත භාර දීමට පියවර ගන්නා ලෙසයි. ඇතැමුන් ගුවන් යානා අනතුරෙන් මියගියේ සිය ඥාතීන් හඳුනාගැනීම සඳහා තම ඛේට සාම්පල ඩී. එන්. ඒ. පරීක්ෂාව සඳහා දුන් බවට ද වාර්තා වී තිබිණි. අනතුරට පත් ගුවන් යානය බෝයින් වර්ගයට අයත් එන්හින් දෙකක් සහිත ගුවන් යානයක් වන අතර අනතුරෙන් පසු දකුණු කොරියාවේ සියලු ගුවන් ගමන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් හදිසි පරීක්ෂාවක් සිදු කරන දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති චොයි සංග් මොක් විසින් වගකිව යුතු අංශ වෙත උපදෙස් දී තිබේ. එමෙන්ම ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රතිඵල කඩිනමින් මියගිය ගුවන් මගීන්ගේ පවුල් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස ද වැඩ බලන දකුණු කොරියානු ජනාධිපතිවරයා විමර්ශකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. ජෙජු ගුවන් සේවාවට අයත් අනතුරට පත් ගුවන් යානය මාවුන් ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමේදී ගොඩ බැස්සවීමට අදාළ ගියරය ක්‍රියාත්මක වී නොමැති බව විමර්ශනවලදී හෙළි වී ඇති අතර එයට මුල්වූ හේතුව මෙන්ම මෙම ගුවන් යානා අනතුර වළක්වාගත හැකිව තිබුණේ ද යන්න පිළිබඳව ද විමර්ශකයන් පරීක්ෂණ පවත්වන බව දකුණු කොරියානු බලධාරීන් විසින් පවසා තිබේ.
මේ අතර මෙම ගුවන් අනතුර සිදු වීමෙන් අනතරුව ඊයේ උදෑසන ජෙජු ගුවන් සේවයට අයත් අනතුරට පත් වූ ගුවන් යානා වර්ගයාට ම අයත් මගී ගුවන් යානයක් ගිම්පෝ ජාත්‍යනතර ගුවන් තොටුපළෙන් පිටත් වී පැයකට පමණ පසු නැවත එම ගුවන් තොටුපළ වෙත ම පැමිණ ඇති බවත් එයට හේතු වී ඇත්තේ එම යානයේ ගොඩ බැස්සවුම් ගියරය යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් පැන නැඟීම බවත් වාර්තා වී තිබිණි. ජේජු ගුවන් සේයා සතු ගුවන් යානා 41න් 39ක්ම අනතුරට පත් වූ බෝයින් වර්ගයේ ගුවන් යානා මොඩලයට අයත් යානා බව අනාවරණය වී තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ


















