සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 04ක පමණ කාලයක් ගතවන බවත්, එහෙත් මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හැකි ඉක්මනින් නිකුත් කරන බවත්, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
එමෙන්ම උසස් පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර පරීක්ෂාව අදියර කිහිපයක් යටතේ සිදු කරන බවත්, එහි පළමු ඇගයීම් කටයුතු ජනවාරි 02 වැනිදා ආරම්භ කරන බවත්, විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (31) දින පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
මේ වනවිට බොහෝ විෂයන් සඳහා ලකුණු ලබාදීමේ ක්‍රියාපටිපාටි සකස් කර අවසන් බවත්, ප්‍රධාන පරීක්ෂක රැස්වීම් ද පවත්වා අවසන් බවත්, ඔහු පවසනවා.
ඒ අනුව, උසස් අධ්‍යාපනය සඳහා යොමුවීමට සිසුන්ට හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම මෙවර විභාගය සම්බන්ධයෙන් කිසිඳු ගැටලුකාරී සිදුවීමක් වාර්තා නොවූ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
පසුගිය නොවැම්බර් මස 25 වැනිදා සිට උසස් පෙළ විභාගය පැවැත්වුණු අතර, අයපහත් කාලගුණ තත්ත්වය නිසා එම විභාගය කල් ගොස් අද දිනයෙන් එය අවසන් වුණා.
එමෙන්ම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය අධ්‍යයනය කර, කඩිනමින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.


















