...
BREAKING NEWS
Search

පපුව රිදෙනවාද? දරාගන්න බැරි කැක්කුමක් එනවාද? පපුවේ එන හැම කැක්කුමක්ම හෘදයාබාධයක ලක්ෂණයක්ද?

369
හදවත සහ රුධිර නාල ආශ්‍රිත රෝගාබාධ විශේෂයෙන්ම හෘදයාබාධ නැතිනම් හාට් ඇටෑක් ලෙස හඳුන්වන තත්ත්වය ගැන කතාකරනකොට පපුවේ කැක්කුම තමා ප්‍රධාන රෝග ලක්ෂණය.
නමුත් පපුවේ එන හැම කැක්කුමක්ම හෘදයාබාධයක ලක්ෂණයක්ද? වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ එය එසේ නොවන බවයි.

හෘදයට කිසිම සම්බන්ධයක් නැති හේතුන් සහ රෝගාබාධ නිසා පපුවේ කැක්කුම හටගන්නත් පුළුවනි.

අද අපි කතා කරන්න යන්නේ හෘදයාබාධයකදී එන පපුවේ කැක්කුම සහ හදවතට කිසිම සම්බන්ධයක් නැති රෝගාබාධ නිසා ඇතිවන පපුවේ කැක්කුම් ගැනයි.

මාංශ පේශීන්ගේ කැක්කුම

වැඩිපුර ව්‍යායාමවල නිරත වූ විට එහෙමත් නැත්නම් අධික බරක් ඔසොවාගන ගියවිට ඔබේ පපු කුහරය ආශ්‍රිත මාංශ පේශිවලට දැඩි පීඩනයක් ඇතිවිය හැකියි. ඒවා ඇදීමට ලක්විය හැකියි. මෙහෙම වුණාම එන වේදානවත් දරන්න අමාරුයි.

තදින් හුස්ම ගන්නා විටත්, අදාළ ප්‍රදේශය ඇඟිලිවලින් තද කරන විටත් වේදනාව අධික වෙන්න පුළුවනි.

වේදනාව මගහැරෙන තුරු ව්‍යායාම නොගෙන සිටීම වැදගත්. උණුසුම් පොට්ටනියකින් තැවීම වගේම, අයිස් තැබීමත් වේදනානාශක ආලේපනයක් ගෑමත් සුදුසුයි.

වෛරස් හේතුකොට ඇතිවන ස්නායු වේදනාව හෙවත් – ෂින්ගල්ස්

ඔබේ පපුවේ හෝ පිටේ වේදනාත්මක පළු බිබිලි සහිතව පපුවේ වේදනාවක් එනවා නම් බොහෝවිට ඔබට ෂින්ගල්ස් (Shingles) නමැති රෝගය වැළඳී තිබෙන්නට පුළුවනි.

කක්කල් කැස්ස ඇතිකිරීමට හේතුවන වෛසරය මගින් පපුවේ මාංශ පේශි ආශ්‍රිත ස්නායු ගැංගේලියම් ඉදිමීමට ලක්වීම නිසා මේ වේදනාව හටගත හැකියි. ෂින්ගල්ස් නිකම්ම හොඳවන අවස්ථා තිබුණත් මේ වගේ වෙලාවට වෛද්‍ය උපදෙස් ගැනීම තමා වඩාත් වැදගත්.

හර්නියා

ඔබේ පෙනහළුවලට පහළින් ඇති පුංචි ඉඩකඩ තුළදී මුඛයේ සිට ආහාර රුගෙන එන ගලනාලයත්, ආමාශයත් එක්වෙන තැනක් තිබෙනවා.

අධික ලෙස කහින විට අධික බරක් ඔසොවන විට, නැත්නම් මළ පහ කිරීමට අධිකව දරන උත්සාහය නිසා අමාශයේ කොටසක් මේ ඉඩකඩ වෙත තෙරපී එන්න පුළුවනි.

මෙය Hiatal Hernia හැටියටයි හඳුන්වන්නේ. පපුවේ වේදනාව මෙහි රෝග ලක්ෂණයක්. ඊළඟට රාමතෙල් පිටවීම, ඉදිමුම වගේම උගුරේ තිත්ත රස දැනීමත් දක්නට පුළුවන්. මේ සඳහාත් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

පිත්තාශ ගල්

ඔබේ පිත්තාශය තුළ ඇති ආහාර දිරවීමට උපකාරීවන පිත ඝනවීම නිසා කැටිති ඇතිවිය හැකියි.

මේවා සාමාන්‍ය වැලිකැට ප්‍රමාණයේ ඉඳලා ගොල්ෆ් බෝලයක ප්‍රමාණය දක්වා වෙනස් වෙන්න පුළුවනි.

පිත්ත ප්‍රනාල සහ පිත්තාශය අතර මේවා සිරවීම නිසා ඉතා ක්ෂණික තද කැක්කුමක් බඩේ පපුවේ වගේම පිටපැත්තේත් දකුණු උරහිස ආශ්‍රිතවත් හටගන්න පුළුවන්.

මේක බොහෝමයක් වෙලාවට හටගන්නේ හොඳට කටබඩ පුරා කාලා රෑට නිදාගන්න දවසටයි. මේ සඳහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

සිපිලිස්

ලිංගිකාශ්‍රිතව බෝවන උපදංශ නැමැති මේ රෝගය නිසාත් පපුවේ කැක්කුම හටගන්නා අවස්ථාවක් තියෙනවා. ඒ මේ රෝගය පෙනහළු ආක්‍රමණය කළ විටයි. පෙනහළු පටල ආශ්‍රිතව තරලය පිරීමට ලක්කරන්න මෙය හේතුවෙනවා.

එවිට ඉතා තියුණු පපුවේ වේදනාවක් සමග සෙම් සහිත කැස්ස හටගන්න පුළුවනි. මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි.

පුප්පුසීය අවරෝධනය: Pulmonary Embolism

ඔබේ ශරීරයේ යම් තැනක ලේ කැටියක් හටගෙන, එය පෙනහළු කරා ගමන් කර සිරවූ විට පෙනහළුවලට අවශ්‍ය තරම් රුධිරය ලැබෙන්නේ නෑ. තදින් හුස්ම ගන්නා විට කහින විට, කෑම ගිලිනවිට එහෙමත් නැත්නම් ඉදිරියට නැවෙන විට පපුවේ වේදනාවක් මේ නිසා හටගන්න පුළුවනි.

මහන්සි වෙලා වැඩක යෙදෙන විට මේ කැක්කුම ඉහළ යන අතර වැඩ නැවැත්තුවත් අඩුවෙන පාටක් නැති බව පෙනීයන්න පුළුවනි. මේ වගේ අවස්ථාවක වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. ලේ කැටි දියකර හරින්න දැන් ඖෂධ තියෙනවා.

ප්ලූරා ප්‍රදාහය: Pleurisy

තද හුස්මක් ගන්නා විට, කහින විට හෝ කිවිසන විට පපුවේ වේදනාවක් එනවා නම් එයින් අනතුරැ ඇඟැවෙන්නේ ඔබේ පෙනහළු ආවරණය කර ඇති පටල ඉදිමී ඇති බව වෙන්නට පුළුවනි. ප්ලූරිසියාව නැත්නම් පෙනහළු පටල ප්‍රදාහය කියන මේ තත්ත්වය වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයක් නිසාත් ඇතිවිය හැකියි.

මේ සඳහාත් ඖෂධ ලබාගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි.

ප්ලීහා අවරෝධය: Blocked Spleen

ඔබේ වම් උරහිස් කූඩුවට පහළින් පිහිටා ඇති මේ අවයවය රෝගාබාධවලින් ඔබව රුකගන්නා අවයවයක්. යම් අවස්ථාවක ලේ කැටියක් මගින් මෙය වෙත ලැබෙන රැධිරය අවහිර විය හැකියි. නැතිනම් ආසාදනයක්, රෝගාබාධයක් නිසාත් මේ තත්ත්වය ඇතිවිය හැකියි.

එවිට මෙහි පඨකවලට රැධිරය නෙලැබීම නිසා මිය යා හැකියි. ප්ලීහාව බිඳවැටීම කියලා හඳුන්වන මේ තත්ත්වයේදී සමහරැන්ට කිසිම රෝග ලක්ෂණයක් පහල නොවුණත් තවත් පිරිසකට ඒ අයගේ වම් පැත්තේ පපුවේ වේදනාවක් හටගන්නට පුළුවනි.

ඇන්ජයිනා හෙවත් පපුවේ වේදනාව

හෘදයවස්තුවට නිසි ලෙස රුධිරය නොලැබෙන විට පපුව මිරිකනවාක් වැනි පීඩනයක් සහිත තත්ත්වයක් දැනිය හැකියි.

මෙය හඳුන්වන්නේ Angina තත්ත්වය හැටියටයි. සමහරැන්ට උරහිස්, අත, බෙල්ල, පපුව සහ පිටපැත්තේ මේ වේදනාව දැනෙන්නට පුළුවනි.

අධිකව ආහාර ගැනීම, මානසික පීඩනය අධික විඩාව වාගේ දේවල් නිසා මෙය ඉහළ යන්නු පුළුවනි. සමහරවිට මේ වේදනාව වෙනත් හෘද රෝගාබාධයක පූර්ව රෝග ලක්ෂණයක් වන්නට පුළුවනි.

ඔබේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නම්, දියවැඩියාවට ගොදුරු වෙලා නම්, ව්‍යායාම ගැනීම අඩු නම්, පෝෂ්‍යදායී ආහාර නොගන්නේ නම් මේ තත්ත්වය ඉහළ යා හැකියි.

මේ හැර Asthma හෙවත් ඇදුම නිසාත් උරහිස් කූඩුව ආශ්‍රිත ආතරයිටීස් නිසාත් එහෙමත් නැත්නම් ආසාදනයක්, තුවාල වීමක් නිසා හටගන්නා Costochondritis නමැති තත්ත්වය නිසාත් පපුවේ වේදනා ඇති විය හැකියි.

මේ කොහොම වුණත් පපුවේ කැක්කුමක් ආවොත් හැකි ඉක්මනින් ඩොක්ට කෙනෙක් ගාවට ගිහිල්ලා නිසි ප්‍රතිකාර ලබා ගැනීමනම් අනිවාර්‍යයි කියලා මතකයේ තියා ගන්න…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.