පහළොස් හැවිරිදි පෙම්වතිය බොරු කියා සිය නිවෙසට කැඳවාගෙන ගොස් පිහියක් පෙන්වමින් බිය ගන්වා පහර දී දූෂණය කළ බව කියන විසි තුන්වැනි පෙම්වතා මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බද්දෙගම මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා නියම කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගණේගම උතුර බඹරවානකන්ද බද්දෙගම පදිංචි අයෙකි.
ඉකුත් දහ අටවැනිදා උදෑසන සිට මෙම දැරිය නිවෙසින් අතුරුදන්ව ඇති බව දෙමව්පියන් විසින් බද්දෙගම පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පරීක්ෂණ පවත්වමින් සිටිය දී පසුදින උදෑසන එම දැරිය පොලිසියට පැමිණ ඇත. ඇයගෙන් කරුණු විමසන විට දී ඇය පාළු නිවෙසක තනිවම පෙරදින රාත්‍රිය ගත කළ බව පවසා තිබේ. ඇයගේ ප්‍රකාශය සත්‍යයක් නොවන බවට සැක කළ පොලිසිය ඇය රැය පහන් කළ බව කියන පාළු නිවෙසට ගොස් පරීක්ෂා කිරීමේ දී කිසිවකු එම ස්ථානයේ නැවතී සිටි බවට කිසිදු සලකුණක් දකින්නට නොවූයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.
තමා ප්‍රකාශ කළේ අසත්‍යයක් බවත්, පෙම්වතාගේ ඉල්ලීම පරිදි හමුවීමට ගිය බවත් ඇය එහිදී පවසා ඇත. කාලයක් තිස්සේ සිට පෙම්වතා සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය හෙයින් දහ අටවැනි දින උදෙන්ම නිවෙසින් පිටවී ගොස් හමු වූ විට තමාගේ නැන්දාගේ නිවෙසට ඇරලවන බව කියා රවටා ඔහුගේ නිවෙසට රැගෙන ගොස් රාත්‍රීයේ පිහියක් පෙන්වමින් බිය ගන්වා අතින් පහර දී දූෂණය කළ බවත් පවසා තිබේ. පෙම්වතාගේ බලකිරීම මත බොරුවක් පැවසූ බවත් ඇය පොලිසිය ඉදිරියේ පවසා ඇත.
ඒ අනුව සැඟවී සිටි සැකකාර පෙම්වතා බද්දෙගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ඇම්. පී. ඉරාන් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් විසි එක්වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
බළපිටිය – අනුර යසමිත්



















