පුෂ්පා පළවැනි නිර්මාණයේ අති සාර්ථකත්වය නිසාම එහි දෙවැනි කොටස අති සාර්ථක විදිහට මේ දවස්වල ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අති සාර්ථකව තිරගත වෙනවා. මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් එක්වෙලා තිබුණේ තෙළිඟු සිනමාවේ අතිශය ජනප්‍රිය සුපිරි තරුවක් වූ අල්ලු අර්ජුන්. අල්ලු අර්ජුන්ගේ ජනප්‍රියත්වය නිසාම චිත්‍රපටිය ආරම්භක අවස්ථාවේ ඉඳලා කතාබහට ලක්වුණා. චිත්‍රපටය තිරගත කෙරුණු 2024 දෙසැම්බරය බොලිවුඩයේ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක්ම සිදු වූ මාසයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ හැම සිදුවීමක්ම වුණේ පුෂ්පා 2 කේන්ද්‍ර කරගෙන. සුකුමාර් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන පුෂ්පා චිත්‍රපටය මේ වෙනකොටත් ඉන්දීය සිනමා ඉතිහාසය වෙනස් කරමින් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ආදායම් වාර්තා රැසක් තමන්සතු කරගන්න සමත්වෙලා තියෙනවා.

මිනිත්තු 200ක් පුරා දිවෙන පුෂ්පා, භාෂා කිහිපයකින්ම ලොව පුරා තිරගත වෙනවා. චිත්‍රපට නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 400ත් -500ත් අතර මුදලක් නිෂ්පාදන කණ්ඩායමට වැය වුණත්, මේ වෙනකොටත් චිත්‍රපටය ඒ ආදායම පියවාගෙන තියෙන්නේ, ඉන්දියානු සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් ඉතාමත් කෙටි කලකින් වැඩිම ආදායමක් ලබාගත්තු සිනමා නිර්මාණයක් විදිහටයි. විශේෂයෙන්ම තිරගතවෙලා දවස් 10ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 820කට වැඩි මුදලක් චිත්‍රපටය උපයලා තිබෙනවා. මෑත ඉතිහාසය තුළ බාහුබලි, ආර්.ආර්.ආර්. වගේම ශාරුක් ඛාන්ගේ පථාන් සහ ජවාන් යන
සිනමා පට පිහිටුවා තිබූ වාර්තා එකින් එක බිඳ දමමින් පුෂ්පා රජ ගමනක යෙදෙනවා. මේ හැම දෙයක්ම අල්ලු අර්ජුන්ගේ ආකර්ශනීය රංගනය නිසා කියලා තමයි බොහෝදෙනා කියන්නේ. මේ වෙනකොටත්, ලොව පුරා සිනමා ශාලා 12,000ක පමණ චිත්‍රපටය තිරගත වෙනවා.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හි සන්ධ්‍යා රඟහලේ පුෂ්පා 2 චිත්‍රපටයේ මංගල දර්ශනය අතරතුර 35 හැවිරිදි රේවතී නමැති කාන්තාව තෙරපීමක් නිසා මියගොස් තිබෙනවා. ඇය අල්ලු අර්ජුන්ගේ ලොකු රසිකාවියක්. ඇයත් සමග ඇගේ 13 වියැති පිරිමි දරුවාත් (ශ්‍රී තේජා) චිත්‍රපටය නරඹන්න සම්බන්ධ වෙලා තිබුණා. මේ සිදුවීමෙන් ඔහුත් බරපතළ තත්ත්වයේ පසුවෙනවා කියලා තමයි ඉන්දියානු ආරංචි මාර්ග සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මෙම තත්ත්වය සිද්ධ වුණේ චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන රශ්මිකා මන්දනා සහ අල්ලු අර්ජුන් සිනමා ශාලාවට පැමිණීමෙන් පසුවයි. ඔහුව දැකබලා ගන්න රසිකයන් පොරකමින් සිනමා ශාලාවට ඇතුළු වෙන්න උත්සාහ කළා. මේ අවස්ථාවේ තමයි අවාසනාවන්ත විදිහට රේවතී මරණයට පත් වුණේ. මේ නිසාම චිත්‍රපටයේ මංගල දර්ශනවලදී ශාලා හිමියන්ගේ වගවීම සහ දැඩි ජනකාය පාලනය කිරීම සඳහා විධිමත් සැලැස්මක් සකස් කළ යුතු බව පවසමින් උද්ඝෝෂණ රැසක් ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා.
මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් අර්ජුන් චූදිතයකු ලෙස නම්කරමින් පැමිණිල්ලක් ගොනු කරන ලද අතර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හයිද්‍රාබාද්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් දින 14 ක් අධිකරණ භාරයට ගෙන ඇත. කෙසේ වෙතත් තෙලන්ගානා මහාධිකරණය විසින් අතුරු ඇපයක් මත ඔහු නිදහස් කරනු ලැබූ අතර ඇප මත නිදහස්ව පැමිණි සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන් මාධ්‍ය අමතමින් සඳහන් කළේ මියගිය රසිකාවිය සහ ඇයගේ පවුලේ අය වෙනුවෙන් තමන් ශෝකය ප්‍රකාශ කරන බවත්, ඔවුන් උදෙසා පෞද්ගලිකව තමන් හැකි සෑම අයුරින්ම සහයෝගය දැක්වීමට සූදානම් බවත් ය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු මාධ්‍යට සඳහන් කළේ මම මගේ පවුලේ අය සමග සිනමා ශාලාව තුළ චිත්‍රපටයක් නරඹමින් සිටියදී අනතුර සිදු වූයේ එළිමහනේ බැවින් ඒ පිළිබඳව මට සෘජු සම්බන්ධයක් නොමැති එය අහම්බයක් බවය. අල්ලු කියන්නේ කොහෙමත් උණුවන හදවතක් තියෙන කරුණාවන්ත මනුස්සයෙක්. ඒ නිසා ඔහු නීතියෙන් නිදහස් වුණත්, තමන්ගේ වගකීම අතහැරලා නැහැ. තමන් වෙනුවෙන් ඇවිත් තමන් නිසාම තෙරපිලා මියගිය ආදරණීය රසිකාවිය වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න ඔහු කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ අනුව ශ්‍රී තේජා ඇතුළු රේවතීගේ පවුලේ උදවිය බලාකියාගන්න එකේ වගකීම අල්ලු භාරගත්තා. මේක ගොඩක්දෙනාගේ ප්‍රශංසාවට ලක්වුණා වගේම අල්ලු පිළිබඳව තිබුණු ආදරයත් ගොඩක් වැඩි වුණා කියලයි විචාරකයන් ප්‍රකාශ කරන්නේ.
ඒ දේවල් ඒ විදිහට වෙනකොට පුෂ්පා 2 සඳහා තිබුණු රසික ආකර්ශනයත් දවසින් දවස වැඩි වෙලා තියෙනවා. ඉන්දියාවේ පමණක් දින 10ක් ඇතුළත කෝටි 507 ක් උපයන්න පුෂ්පා සමත් වුණා. ඒ කියන්නේ ඉන්දීය සිනමා ඉතිහාසයේ වේගවත්ම කෝටි 500 සීමාව පසුකිරීමේ වාර්තාව තමයි ඔවුන් තමන්සතු කරගත්තේ. ඉතින් තව ටික දවසක් යනකොට පුෂ්පා සමස්ත ඉන්දියානු සිනමා ඉතිහාසයේ සියලුම වාර්තා බිඳ දමමින් ඒ හැම එකක්ම තමන් නමින් ලියාගනීවි කියල බොහෝදෙනා ප්‍රකාශ කරනවා.
අමිල නුවන් මධුසංඛ



















