BREAKING NEWS
Search

කොරෝනා උවදුර දැක ව්‍යාපාරික යුවළක් තෙමහල් නිවස පරිත්‍යාග කරයි

149

බදුල්ලේ ව්‍යාපාරික යුවළක් ඉතා දුක්මහන්සී වී උපයාගත් මුදලින් හැදූ රුපියල් කෝටි 3 ක් පමණ වටිනා තෙමහල් නිවස ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළ අතර එය ආයුර්වේද විශේෂ ප්‍රතිකාර ඒකකයක් ලෙස (24දා) විවෘත කෙරිණ.

බුද්ධදාස සමරජීව සහ අයිරින් හිල්ඩා ලියනගේ යන එම යුවළ විසින් මෙහිදී සුබ මෙහොතින් නිවසේ යතුරු ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් දිල්මා ප්‍රේමතිලකට භාරදීමෙන් පසු මෙම විවෘත කිරීම සිදුවිය.

බදුල්ල මහ රෝහලට නුදුරින් පිහිටි මෙම නිවස නිල වශයෙන් පරිත්‍යාග කළ අවස්ථාවට වැඩම කළ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනය කරමින් මෙම යුවළට සෙත් පැතූහ.

මෙම පරිත්‍යගය පිළිබඳව අයිරින් හිල්ඩා මහත්මිය මෙසේ පැවසීය. මමත් මහත්තයත් බොහොම මහන්සියෙන් ගොඩනගා ගත් පලතුරු බීම ව්‍යාපාරය නිසා අපි දියුණු වුණා.

ඒත් දවසින් දවස ජීවිතයේ අනිත්‍ය බව පැහැදිලි වෙනවා. මේ නිසා, 2016 සිට අපි ව්‍යාපාරික කටයුතු නතර කරලා නිදහසේ ජීවත් වුණා.

ඔහොම ඉන්න කොට තමයි කොරෝනා උවදුර ආවේ, ජීවිතයේ අස්ථාවර භාවය දෑස් පණාපිටම ඔප්පුවෙමින් තිබෙනවා .

මේ වෙලාවේ අපිට කළ හැකි හොඳම දෙය අහිංසක රෝගීන් වෙනුවෙන් අපට කළ හැකි දේ කිරීම බව අපි දෙන්නා හිතුව.

ඒ අනුව තමයි කාමර 9 ක් ශාලා 2ක් ඇතුළු සියලු පහසුකම් සහිත මෙම නිවස ආයුර්වේද රෝහලක් සඳහා පරිත්‍යාග කරන්න බොහොම සතුටින් මේ තීරණය කළා .

කවදත් පින්දහම් කළා. ජීවත් වෙන ඉදිරි ටික කාලේත් පින් දහම් කරමින් නිදහසේ ජීවත්වෙනවා යැයිද ඔවුහු පැවසූහ.

මෙම පරිත්‍යාගයට ගෞරව දැක්වීම සඳහා මෙම ආයුර්වේද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය බුද්ධදාස සමරජීව ආයුර්වේද විශේෂ ප්‍රතිකාර ඒකකය නමින් නම් කළ බව ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් දිල්මා ප්‍රේමතිලක පැවසුවාය.

ඒ. එම්. කටුබුල්ල – ඇල්ල




Leave a Reply

Your email address will not be published. Required fields are marked *