රාජකාරි විවේකයේ දී තානායමක මත්පැන් පානය කිරීමට ගිය පොලිස් නිලධාරියකුට එම තානායමේ මත්පැන් බොමින් සිටි පුද්ගලයකු විසින් වීදුරු බෝතලයක් කඩා පහරදීමකින් තුවාල ලැබූ එම කොස්තාපල්වරයා රෝහල් ගත කිරීමේ සිද්ධියක් හොරණින් වාර්තා වේ.
මෙම සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ මොරගහහේන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකි.
රාජකාරි විවේකය වාර්තා කර මෙම කොස්තාපල්වරයා හොරණ ප්‍රදේශයේ තානායමකට ගොස් මත්පැන් පානය කර ඇත. ඔහු අසල මත් පානය කළ ත්‍රිරෝද රථ රියැදුරෙකු සමග මෙම කොස්තාපල්වරයා බහින්බස් වී ඇත.
මෙම බහින්බස්වීම දුරදිග යෑමෙන් පසු ත්‍රිරෝද රථ රියැදුරු විසින් පානය කරමින් සිටි මත්පැන් බෝතලය කඩා එයින් කොස්තාපල්වරයාට පහර දී ඇත. පහර කෑමට ලක්වූ කොස්තාපල්වරයා තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පහර දුන් පුද්ගලයා හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් එම පුද්ගලයා හොරණ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පුද්ගලයකු බවට හඳුනාගෙන ඇති අතර මේ පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
ධම්මික සල්වතුර


















