මෙරට කෘෂිකර්මාන්තයේදී සිදුවන සත්ත්ව හානිය සහ එම හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා ගතහැකි ආකාරය සම්බන්ධයෙන් කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඇමරිකා තානාපතිනිය ජූලි චන්ග් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ විශේෂ හමුව අද (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
මෙහිදී කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සහ දේශීය ගොවියාගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා අවශ්‍ය ඇමරිකානු සහාය ලබා ගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි පැවසෙන්නේ.
මෙහිදී අමාත්‍යවරයා දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළඳපොළ සොයාගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමට මෙහිදී සාකච්ඡා කොට තිබෙනවා.
එමෙන්ම වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය ලබා ගැනීම කෙරෙහිද අවධානය යොමු කළා.
දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට හා දේශීය ගොවි සමාගම් සඳහා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පොල් කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණයට අවශ්‍ය සහාය ලබා දීමට මෙහිදී ඇමරිකා තානාපතිනිය එකඟතාව පළ කළ බවයි පැවසෙන්නේ.


















