ආදරයක් ඇරඹුණු අලුත නම් ඔබට දැනෙන්නේ මුළු ලෝකයම ඔබට ලැබුනා වාගෙයි. මොකද ඒ මුල් කාලය ඔබේ සිතේ ජනිත කරවන්නේ ඉහ වහා නොගිය සතුටක්, උනන්දුවක්. මොන තරම් ආදරයක් මුලදී දැනුනත්, පසුකාලීනව බිඳ වැටෙන ආදර සබඳතා නම් ඕනෑ තරම්ය. මේ වගේ බිඳ වැටෙන සුළු ප්‍රේම කතා කලින්ම හඳුනා ගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? ඉතින් අද අපි මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න තීරණය කළා.
1 ආදරෙන් බැඳුනු ගමන් පෞද්ගලික ජීවිතය අමතක කිරීම

සමහර ගෑනු ළමයි ඉන්නවා ආදරයෙන් බැඳුනම මුළු ලෝකයම අමතක වෙලා යන. තමන් මෙච්චර කාලයක් ආශ්‍රය කරපු මිතුරුකම් සීමා කරලා, තමන්ගේ පවුලේ අයව ඈත් කරලා ඒ කාලයත් තමන්ගේ සහකාරයා එක්ක ගත කරන්න යොදවනවා. මේ ලක්ෂණය නම් එච්චර හොඳ ලක්ෂණයක් නෙවෙයි. අනිත් දේවල් අමතක කරලා ආදරය වෙනුවෙන් කැප වුනාම ආදරය වැඩි වෙනවා කියලා ඔබ හිතාගෙන හිටියත් එහෙම වෙන්නේ නැහැ. ටික දවසක් යනකොට ඉබේටම දෙන්නට දෙන්නව එපා වෙන්න ගන්න ගන්නවා. නිවැරදි ක්‍රමය නම් ඔබේ කාලයෙන් 50%ක් ඔබේ සහකරු වෙනුවෙනුත්, 30%ක් ඔබේ පවුල සහ හිතමිතුරන් වෙනුවෙනුත්, ඉතරි 20% ඔබට තනිව සිටීම වෙනුවෙනුත් යෙදවීමයි.
2 ඔබේ සහකරුවාගේ වැරදි ඔබ දිගින් දිගටම ඉවසනවා

සමහර පිරිමි අය තමන්ගේ පෙම්වතියට විවිධාකාරයේ හිත රිදවීම් ඇති කරනවා. ඔබගේ පෞද්ගලික ජිවිතයට අනවශ්‍ය ලෙස මැදිහත් වීම, ඔබව වෙනස් කරන්නට යාම, ඔබව විහිලුවට ගැනීම, කෝ’ප සහගත ලෙස හැසිරීම, හමුවීම් වලදී ප්‍රමාද වීම, හමුවී සිටින අවස්ථා වලදී සමාජ ජාලා වල සැරිසැරීම, ඔබේ විරෝධතා නොසලකා හැරීම
සහ ප්‍රේම සබඳතාවය නවත්වන බව කියමින් ඔබව බි’ය ගැන්වීමට උත්සාහ කිරීම වගේ දේවල් වලට ඔබ මුලදීම විරුද්ධ විය යුතුයි. ඔබ අකමැති දේවල් වලට ඔබ අකමැති බව හැඟවිය යුතුයි. එහෙම නැතුව සියල්ල ඉවසා සිටිමින් ඔහු වෙනස් වන තුරු බලා සිටීම නම් හරිම මෝ’ඩ වැඩක්. ඔබ මෙවැනි තත්වයන් නොසලකා හරින විට ඔබේ සබඳතාවය එන්න එන්නම නරක අතට හැරෙනවා. ඔබ මේ වගේ දේවල් වලට රණ්ඩු කරන්න ඕනේ කියලා නම් නෙවෙයි අපි කියන්නේ. ඔබ පැහැදිලිව සහ කරුණාවෙන් ඔබ අකමැති දෙය ඔහුට කෙලින්ම පවසන්න ඕනේ. ඔහු එය ගණන් ගන්නේ නැති නම් ඔහුව අත හැර දැමීම වඩා සුදුසුයි.
3 ඔබ පරණ පෙම්වතා ගැන නිතර මතක් කිරීම

සමහර පෙම්වතියන් ඉන්නවා තමන්ගේ අලුත් පෙම්වතාට පරණ පෙම්වතා ගැන හැමදේම කියන. ඔවුන් හිතන්නේ තමන් ඔහු ගැන කිවීම තමන්ගේ අවංකකම කියලයි. පිරිමි පාර්ශවයත් මේ දේවල් උනන්දුවෙන් අහ ගන්නවා. මොකද ඔවුන්ටත් අවශ්‍යයි තමන්ගේ පෙම්වතියගේ කලින් සම්බන්ධය මොන වගේ එකක්ද කියලා තේරුම් ගන්න. ඒත් ඔබ නොදන්නවා වුනාට පෙම්වතිය පරණ පෙම්වතා ගැන පවසන හැම වාරයක් ගානේම ඔහු ඊර්ෂ්‍යාවට පත් වෙනවා. සම්පුර්ණ කතාව අහ ගන්න ඕනේ නිසා ඔහු මේ බව පෙම්වතියට අඟවන්නේ නැහැ.
මේ නිසා තමන්ගේ නව පෙම්වතාට පරණ පෙම්වතා ගැන කියන්න ඕනේ මොනාද, නැත්තේ මොනාද කියලා තීරණය කිරීම නැණවත් පෙම්වතියකගේ ලක්ෂණයක්.
ඒ වගේම වරින් වර පරණ පෙම්වතාව සිහි කිරීම, නව පෙම්වතාගේ ගතිගුණ එක්ක පරණ පෙම්වතාගේ ගතිගුණ සැසඳීම වගේ මෝ’ඩ වැඩ කරන්න ගියාමත් ඔබේ ප්‍රේම සබඳතාවය අනතුරේ වැටෙනවා.
4 ඔබ දෙදෙනා අදහස් හුවමාරු කර නොගැනීම

ඔබේ හිතේ තියෙන දේවල් ඔබේ පෙම්වතා තේරුම් ගත යුතුයි කියලා ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබ වැරදියි. තවත් කෙනෙක්ගේ හිතේ තියෙන දේවල් හරියටම තේරුම් ගන්න තරම් මනුෂ්‍ය අපේ හිත දියුණු නැහැනේ. ඒ වෙනුවට ඔබට හිතෙන, ඔබට අවශ්‍ය දේවල් ගැන සෘජුව ඔබේ පෙම්වතාට කියන්න පුරුදු වෙන්න.
ඔබ ඔබට අවශ්‍ය දේවල් නිවැරදිව සන්නිවේදනය නොකර සිටින තාක් කල් ඔබ දෙදෙනා අතර වරදවා තේරුම් ගැනීම් සහ ඝට්ටනයන් ඇති වෙනවා. විසඳා නොගත් සෘණාත්මක සිතුවිලි ඔබ දෙදෙනාගේම සිත් තුල ගොඩ ගැසෙනවා.
මේ නිසා මුල සිටම නිවැරදි ලෙස සන්නිවේදනයේ යෙදෙන්න. ඔබට අවශ්‍ය දේ පවසනා අතරම, අනෙකාට අවශ්‍ය දේත් අසා දැන ගන්න.
5 ඔබේ පෙම්වතා සර්වසම්පුර්ණ අයෙකු බව විශ්වාස කරන්නට ඉක්මන් වීම

මිනිස්සු හැම දෙනා තුලම වැරදි අඩුපාඩු තිබෙනවා. ඇත්තෙන්ම වැරදි අඩු පාඩු නොමැති පුද්ගලයෙක් නැහැයි කිව්වොත් නිවැරදියි. ආදරය ඇරඹුණු මුල් කාලයේදී ඔබට ඔබේ පෙම්වතාගේ හොඳ විතරයි දකින්නට ලැබෙන්නේ. ඒත් ටික ටික කාලය ගත වෙද්දී ඔබේ පෙම්වතාත් වැරදි අඩුපාඩු ඇති සාමාන්‍ය මනුෂ්‍යයෙකු බව ඔබට වැටහෙද්දී ඔබට ඇති වෙන්නේ බලාපොරොත්තු බිඳ වැටුණු හැඟීමක්.
මේ නිසා මුලදීම ඇති වන මේ බොරු හැඟීමෙන් මිදෙන්නට ඔබ උත්සාහ කල යුතුයි. ඔබේ පෙම්වතාගේ ස්වභාවය මඳක් හෝ අවබෝධ කර ගැනීමට හොඳ ක්‍රමයක් තමයි ඔහු අනිත් අය එක්ක හැසිරෙන ආකාරය ගැන නිරීක්ෂණය කිරීම. ඔබ ඉදිරියේදී කරුණාවන්ත වන ඔහු වෙනත් අය ඉදිරියේ කෝප ගන්නවා නම්, ඔහු අනාගතයේදී ඔබ සමඟත් කෝප වීමට ඉඩ ඇති බව ඔබට මුලදීම වටහා ගන්න පුළුවන්. මෙය පසුකාලීනව ඇති වන අනපේක්ෂිත සිත් රිදවීම් වලින් මිදීමට ඔබට උදව් වේවි.
6 පෙම්වතා ඉස්සරහ වෙනස් චරිතයකට අවතීර්ණ වීම

පෙම්වතා ඉදිරියේ හොඳම පෙම්වතිය වීමේ අරමුණින් සමහර ගෑනු ළමයි මවා ගත්තු අහිංසකකමක්, කරුනාවන්තකමක් මවා ගන්නවා. තවත් සමහරු තමන්ගේ හැසීරීම පවා අසීමිතව සංවර කර ගන්නවා. එතකොට ඔබේ පෙම්වතා කැමති වෙන්නේ ඔබට නෙවෙයි. ඔබ මවා ගත්තු චරිතයටයි. කාලයත් එක්ක ඔබේ සැබෑ ස්වභාවය ටික ටික ඔහුට තේරෙනකොට ඔහු ඔබෙන් දුරස් වෙන්න පටන් ගන්නවා.
සමහර පෙම්වතියන් පෙම්වතාගේ ලෝකයේ වීරවරිය වෙන්න ඕනේ නිසා සමහර දේවල් සඟවනවා. සමහර වෙලාවට බොරුත් කියනවා. ඊළඟට ඒ බොරු වහන්න දිගින් දිගටම බොරු කියන්න සිදු වෙනවා. ඒත් කවදා හෝ මේ බොරු හසු වූ විට ඔබ දෙදෙනා අතර ඇති විශ්වාසය බිඳෙනවා.
7 අනෙකාව පාලනය කරන්නට උත්සාහ දැරීම

ඔබ ඔබේ පෙම්වතාව පාලනය කරන්න උත්සාහ දරුවත්, ඔබේ පෙම්වතා ඔබව පාලනය කරන්න උත්සාහ දරුවත් එය වැරදියි. අනිත් කෙනාගේ ජීවිතය පාලනය කරන්නට උත්සාහ දැරීමෙන් කියවෙන්නේ ඔබ දෙදෙනා අතර තිබිය යුතු අන්‍යෝන්‍ය විශ්වාසය නොමැති බවයි.
තමන්ගේ සහකරුවාව පාලනය කරන්නට යාමෙන් සහ නීති දැමීමෙන් සිදු වන්නේ සහකරු ඔබෙන් කෙමෙන් කෙමෙන් දුරස් වීමට මඟ පෑදීමයි.
ඔබ ඔබේ සහකරුගේ දෙමාපියන්ගෙන් කෙනෙකු නොවන බවත්, ඔබේ සහකරු තීරණ ගත හැකි ස්වාධීන පුද්ගලයෙකු බවත් මතකයේ තබා ගන්න.
8 ප්‍රධාන නොගැලපීම් නොසලකා හැරීම

ආදරය නොගැලපීම් බලපාන්නේ නැහැ කියලා හිතන අය වැඩි දුර හිතන්නේ නැතුවම ඉක්මනට පෙමින් බැඳෙනවා. හැබැයි දෙදෙනා අතර ඇති ගැලපීම් වැඩි වෙන තරමට ඒ සබඳතාවය දිගු කාලීන වීමේ ඉඩ කඩ වැඩියි. ආගම, සංස්කෘතිය, රැකියාව, පවුල, මිතුරු මිතුරියන්, මුල්‍ය හැකියාව ආදී කාරණා මුලදී නොසලකා හැරියත් කල් ගත වන විට ගැටළු ඇති වීමට කුඩා හෝ ඉඩක් පවතිනවා.
උදාහරණ වශයෙන් ගතහොත් අධ්‍යාපන මට්ටම හෝ රැකියාවේ මට්ටම නොසලකා ප්‍රේම කරන්නට එළඹෙන බොහෝ දෙනා, පසුකාලීනව ඒ හේතුව නිසාම වෙන් වෙන ආකාරය දැක ගන්න පුළුවන්.
9 ආශ්‍රය කරන්නට ලැජ්ජා වීම

ඔබේ පෙම්වතා සමඟ කාලය ගත කරන්න ඔබට ලැජ්ජයිද? සමහර පෙම්වතියො මේ ගැටලුව නිසා මුල් කාලයේදී හැකි තරම් පෙම්වතාව මඟ හරිනවා. මුණ ගැහුණු විටත් කතා කරන්නේ හරි අඩුවෙන්. එතකොට කොහොමද ඔබ දෙදෙනාට ඔබ දෙදෙනාව තේරුම් ගන්නට අවස්තාවක් ලැබෙන්නේ? තේරුම් ගන්නට බැරි වෙනකොට දෙදෙනා අතර ප්‍රශ්න ඇති වෙන එක අහන්නත් දෙයක්ද?
10 පෙම්වතාගෙන් තොර ලෝකයක් නොමැති වීම

පෙම්වතාට තමන් වෙතින් බිඳක්වත් ඈත් වෙන්න දෙන්න නැතුව, පෙම්වතාගේ මිතුරන් ආශ්‍රයටත් බාධාවක් වෙන පරිදි සමහර පෙම්වතියන් ඔහු එක්කම ඉන්න බලාපොරොත්තු වෙනවා. සමහර ගැහැණු ළමයි මෙහෙම හැසිරෙන්නේ ආදරය වැඩි කම නිසා තමයි. ඒත් ඒක පෙම්වතාට නම් දැනෙන්නේ කරදරයක් විදිහටයි. ඉතින් ඔහු පෙළඹෙනවා පෙම්වතියට බොරු කියලා, ඇයව මඟ හැරලා තමන්ගේ දේවල් වෙනුවෙනුත් කාලය වෙන් කරන්න. ඔබව හමුවන්නට පෙර ඔහු ස්වාධීන මිනිසෙකු ලෙස ජිවත් වූ බව අමතක කරන්න එපා.
11 ඔබේ ආදරය වේගවත් වීම

ආදරයක් ඇති වෙලා දවසක් ගත වෙද්දීම ඔබට අවශ්‍ය ඔබේ ආදරය ගෙදරට දැනුම් දීලා, විවාහය ස්ථිර කර ගන්න නම් ඔබේ ආදරය අනතුරේ. එය ඔබේ පෙම්වතාට අමතර බරක් සහ බියක් ගෙන දෙන කාරණයක් වේවි. ආදරයේ අවධීන් කීපයක්ම තියෙනවා. ඔබ පළමු අවධියේ සිට අවසාන අවධියට පනින්නට හදිස්සි වෙනවා නම්, ඔබට අතරමග අවධීන් වල විඳිය හැකි සොඳුරු දේවල් අහිමි වෙනවා.
goodhousekeeping.lk

















