කතානායක අශෝක රංවලගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා.
ඒ බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
තවද
පාර්ලිමේන්තුව මීළඟට රැස්වන පළමු දිනයේදීම කතානායකවරයා තෝරා පත් කරගත යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
මේ අනුව ලබන 17 වැනිදා නව කතානායකවරයා තෝරා පත් කර ගත යුතුවේ.
අලුතින් නම් කෙරෙන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් බෙදීමක් පවතින්නේ නම් එදින අනිවාර්යයෙන්ම ඡන්ද විමසීමක්ද පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තුව ලබන 17 සහ 18 දෙදින රැස්වීමට නියමිතය.
කතානායක අශෝක රන්වල මහතා අද (13) පස්වරුවේ එම තනතුරෙන් ඉල්ලා අස්විය.
මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් රජය ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තාවේ.
කතානායක ධුරය සඳහා නිහාල් ගලප්පත්ති මහතාගේ නම මීට පෙරද යෝජනා වී තිබිණ.

















