මේ දවස්වල ඇයව අපිට දකින්න හම්බවෙන්නේ ඔබේ ගමේ,නගරයේ තියෙන සිනමා හල්වල විකාශය වන සෝලෝටවුන් සිනමා නිර්මාණයත් එක්ක. සෝලෝටවුන් හි නදීෂා ඇයයි. ඇය මුලින් කලාවට එන්නෙත් මීට කලකට ඉහත දී තිරගත වුණු ඒ-ලෙවල් සිනමා නිර්මාණයෙන්. ඇය රංගනයෙන් දායක වුණු ලෝකා ටෙලිනාට්‍යයේ ප්රසාදිනීගේ චරිතයට නැඟී එන නිළියට හිමි සම්මානය ද ඇයගේ දෝතට හිමිවුණා. නමින් නිවර්තනා දේවගේ වුණු ඇය සෝලෝටවුන් හි නදීෂා ගැන වගේම ඇයගේ කලා ජීවිතය ගැනත් අපත් සමග සංවාදයක යෙදුණා.
සෝලෝටවුන්හි නදීෂාව හමුවුණේ කොහොම ද?
නදීෂාව මට මුණගැසුණේ මගේ මිතුරෙක් වන සොඳුරු ලොකුබෝතාගම කියන වේදිකා නාට්‍ය රංගන ශිල්පියා, පිටපත් රචකයා වගේම අධ්යක්ෂවරයා මාර්ගයෙන්. ඔහු තමයි සෝලෝටවුන් චිත්‍රපටයේ සහාය අධ්යක්ෂවරයා. ඊට පසුව සෝලෝටවුන් චිත්‍රපටයේ අධ්යක්ෂ චතුරංගන අයියත් මට කතා කළා.

නදීෂා ගැන මොකද හිතන්නේ?
නදීෂා කියන්නේ ඉතාමත් ධෛර්ය සම්පන්න අධිෂ්ඨානශීලි සහෝදරියක්. මම හිතන්නේ තමන්ගේ නංගිගේ පාට කර ගන්න බැරිව ඉතිරිවෙලා තියෙන හීන පාට කරලා දෙන අපේක්ෂාවෙන් කැපකිරීමෙන් වැඩ කරන සහෝදරියක්. මම හිතන්නේ ඒ වගේ සහෝදරියෝ හැමකෙනකුට ම ලැබෙන්න ඕනෑ. එවැනි සහෝදරියෝ මේ ලෝකේ ඉන්නවා සහ ඉන්නත් ඕනෑ. නමුත් අද කාලේ වෙද්දී සහෝදරකම් පවා මිනිස්සුන්ට අතහැරිලා. මම දන්නෙ නැහැ මේ ලෝකෙට මොකක් වෙලාද කියලා. ගොඩක් බැඳීම් දුරස්වෙලා. හැබැයි ඒ අතර නදීෂලාගේ වගේ අක්කලාගේ බැඳීම් අදටත් ලස්සනයි.
නදීෂා කියන්නේ ජීවිතයේ අමාරු තැනදී අත්නොහරින කෙනෙක්. කොහොමද ඒක දැනෙන්නේ?
ඇත්තට ම නදීෂා කියන්නේ ජීවිතේ අමාරුම තැන්වලදී අල්ලාගෙන ඉන්න ලෝකේ පෙරළගෙන හරි තමන්ගේ ටාගට්වලට දුවන ඒ හීන සැබෑ කර ගන්න දඟලන කෙල්ලෙක්. නදීෂා කියලා කියන්නේ හැම ගැහැනු ළමයෙක් ඇතුළෙම ඉන්න ඕනෑ චරිතයක්.
නදීෂා, නිවර්තනාට සමාන ද?
මම හිතන්නේ නිවර්තනා ඇතුළෙත් නදීෂා කෙනකු ජීවත් වෙනවා කියලා. මොකද ඇයට සමාන ගතිලක්ෂණ ටිකක් මටත් තියෙනවා. මම ගොඩක් සංවේදී චරිතයක්. මට ඉන්නෙත් නංගි කෙනෙක්. එයාගේ ඕනෑම ප්‍රශ්නයකදී මුලින්ම කතා කරන්නෙ මට. මම මගේ ඕනෑම දෙයක් කැප කරලා හරි නංගිගේ දේවල්වලට පෙනී සිටිනවා. නදීෂාගේ ඇතුළේ තියෙන සහෝදර ප්‍රේමය මට අඳුරගන්න එච්චර අමාරු වුණේ නැහැ. මොකද මට ඉන්නෙත් නංගි කෙනෙක් නිසා. එතකොට මගේ ඇතුළෙත් අනිවාර්යයෙන්ම නදීෂා කෙනෙක් ඉන්නවා.
එතකොට නිවර්තනා මොනවගේ චරිතයක් ද?
මම කවුද කියලා මාත් තවම හොයනවා. මම හිතන්නෙ නැහැ මේ වෙද්දි ඒක කාටහරි හම්බවෙලා තියෙනවා කියලා. දැනට මම හොයාගෙන තියෙන්නේ මම මම වගේ කියලා.
නිවර්තනා රඟපෑමට එන්නෙත් සිනමාවෙන් නේද?
මම මුලින්ම රංගනයට වගේම සිනමාවට එන්නේ 2016 වසරේ දී. ඒ රොහාන් පෙරේරා අධ්‍යක්ෂණය කරන ලද ඒ-ලෙවල් කියන චිත්‍රපටය හරහා. ඔහු තමයි මාව ඒ චිත්‍රපටයට තෝරාගත්තේ. අද වෙනකොට මට අවුරුදු අටක නවයක විතර ගමනක් තියෙනවා. මාව සිනමාවට හරවපු චිත්‍රපටය ඒ-ලෙවල් කිව්වොත් නිවැරදියි.
මේ කාලය තුළ ලැබුණු නිර්මාණ ගැන තෘප්තිමත් ද?
මට තෘප්තිමත් වියහැකි නිර්මාණවලට විතරයි මම දායකත්වය ලබාදෙන්නේ. මම සෑහෙන වැඩ කරපු කෙනෙක් නෙමෙයි. මම හරි අඩුවෙන් වැඩ කරපු කෙනෙක්. අනික මම හරියට දේවල් තෝරනවා. මම ලොකුවට ජනප්‍රියත්වයවත්, මුදල්වත් හඹාගෙන යන කෙනෙක් නෙමෙයි. මුදල් නැතිව මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. නමුත් ඒ මුදල් හඹාගෙන යන මාර්ගය මගේ රංගන ජීවිතයවත් කේෂ්ත්රයවත් කරගෙන නැහැ. මම හිතනවා ඉදිරියටත් තව මාව තෘප්තිමත් වෙන්න පුළුවන් විදිහේ වැඩවලින් දකින්න පුළුවන් වෙයි කියලා.
ඔබ පසුගිය කාලේ රංගනයෙන් දායක වුණ ධාරා චිත්‍රපටය ගැනත් කතා කළොත්?
ධාරා හොඳ චිත්‍රපටයක්. රස වගේම බර චිත්‍රපටයක්. එහි තේමාව විමුක්තිය. විමුක්තිය හොයාගෙන යන පාරවල් ගොඩක් තියෙනවා. දක්ෂ දැවැන්ත රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ දායකත්වය ලැබුණු චිත්‍රපටයක්. මෙහි කැමරාශිල්පියා විදේශිකයෙක්. ඔහුත් සමග වැඩ කරද්දී ලැබෙන ඒ අත්දැකීම් සෑහෙන වෙනස්. ඉතිං ඒ අත්දැකීම් ලැබුණා වගේම ලංකාවේ ලස්සන දර්ශනතල රැසකට යන්න පුළුවන් වුණා. අධ්‍යක්ෂණය අනුරුද්ධ ජයසිංහගේ.
දිගට ම රඟපාන්න ද සූදානම?
ඔව්. මම දිගට ම රඟපායි. අනිවාර්යයෙන්ම හොඳ වැඩවල දී දකින්න පුළුවන් වේවි.
වේදිකාවේ වැඩකටයුතු එහෙම කොහොමද?
වේදිකාවේ වැඩ කටයුතුවලින් මට සෑහෙන ඉවත් වෙන්න සිද්ධ වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ මගේ කරපු විෂයත් එක්ක මට ඒකට දෙන්න කාලයක් නැතිවුණා. සිනමාවට පුංචි තිරයට වඩා මම ආසම වේදිකාවට. මට දුකයි වේදිකාවෙන් ඈත්වෙන්න සිද්ධ වෙච්ච එක ගැන. හැබැයි මම අතහරින්නේ නැතිව වේදිකා නාට්‍ය බලන්න යනවා.
ලෝකා නාට්‍යයේ ප්‍රසාදිනී ගැන කතා නොකරම බැහැ?
මගේ උසස් පෙළ නාට්‍ය හා රංග කලා ගුරුවරයා වන අකිල සපුමල් කියන දක්ෂ නාට්‍යවේදියාගේ පළමු තිරපිටපත තමයි ලෝකා කියන්නේ. ඉතිං ඔහු මාර්ගයෙන් තමයි මට ලෝකා නිර්මාණයට ආරාධනාවක් ලැබෙන්නේ. ලෝකා ඇත්තටම මගේ විකාශය වුණු පළමු ටෙලිනාට්‍යය. මට සම්මානයක් පවා හම්බවුණේ ලෝකා ටෙලිනාට්‍යයේ ප්‍රසාදිනී කියන චරිතයට. ප්‍රසාදිනී කියන්නේ සමාජයේ ආදරය නොලැබෙන චරිතයක්. ප්‍රසාදිනී කියන චරිතය මටත් හොඳ අත්දැකීමක්.
පාසල් ගියේ කොහෙද?
මම පාසල් ගියේ බාඳුරාගොඩ ධර්මාශෝක විද්‍යාලයට. එම පාසලේ තමයි මම 6 වසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු සිදුකළේ. ඉතිං ඒ පාසලත් මම ආදරයෙන් මතක් කරනවා. මොකද මාව හදපු තැන, මම හැදිච්චි තැන. මට අත්දැකීම් ලැබිච්ච තැන. පාසල් යන කාලේ නර්තනය තමයි මට හොඳටම පුළුවන්. උසස් පෙළටත් මම නර්තනය විෂයයක් විදිහට හැදෑරුවා. නර්තනයෙන් මම සමස්ත ලංකා තරගවලට පවා ඉදිරිපත් වෙනවා. මගේ නර්තන ආචාර්යවරිය යසන්ති ජයමහ සහ ප්‍රියන්ත රෝහණ ආචාර්යවරයා. ඉතිං ඔවුන් දෙදෙනාගෙන් මගේ ජීවිතයට ලොකු සහයෝගයක් ලැබුණා. ජීවිතයේ වැටුණු තැන්වල දී ඒ ගුරුවරුන්ගේ හයිය මට උදව් වුණා, මට මේ ගමන අරගෙන එන්න.
සරසවි ජීවිතය ගැනත් කතා කළොත්?
ඒක වෙනම විදිහේ ජීවිතයක්. මම ගෙදර නීතියට හිරවෙලා හැදිච්ච ළමයෙක්. ඉතිං මට ගෙදරින් පැනගන්න විදිහක් හොයද්දී මට කල්පනා වුණා විශ්වවිද්‍යාලයට පැන ගන්න එක තමයි ගෙදරින් පනින්න පුළුවන් ඩීසන්ම විදිහ කියලා. ඊට පස්සෙ මම මාසෙන් පාඩම් කරලා ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාලයට එනවා. ඒ එන්නේ ඉගෙන ගන්නවාටත් වඩා ගෙදරින් පැන ගන්න. මගේ නිදහස හොයාගන්න. එහෙම ඇවිත් අවුරුදු හතරක් ඉගෙනගෙන ජනසන්නිවේදනය පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධියක් ලබාගන්නවා. ආයේ ඉතිං ජීවිතයේ එහෙම කාලයක් නැතිවේවි කියලා හිතෙද්දී හරි දුකයි. ඒ තරම් සතුටින් හිටියා ඒ කාලයේ.
මේ තාක් ආපු ගමනේ දී මුහුණ දුන් අභියෝග එහෙම?
ඉහේ කෙස් ගාණට අභියෝග ඇවිත් තියෙනවා. මම හිතන්නේ ජීවත් වෙනවාම කියන්නේ අභියෝගයක්. ඒ අභියෝගවලට කොච්චර දුරට සාර්ථකව මුහුණදෙනවාද කියන එක ඇතුළෙ තමයි මම හිතන්නෙ මම කියන චරිතය රඳාපවතින්නේ. ඒ අභියෝග ජීවිතය පොලිෂ් කරනවා අපිට දේවල් උගන්වනවා, අපිට නැඟිටින විදිහ කියලා දෙනවා. අපිව වැටෙන තැන් පෙන්වා දෙනවා. අපිට ජීවිතය ගැන කියලා දෙන්නේ අභියෝග. ඒ අභියෝගවලට ඔළුව කෙලින් තියාගෙන මුහුණදෙන එක තමයි මගේ අභියෝගය. එහෙම හිතනකොට අභියෝගවලට මුහුණදෙන්න සෑහෙන අමාරු වෙන්නේ නැහැ.
ජනප්‍රියත්වයත් සමග ලැබෙන රසික ආදරය?
මම ඇත්තටම ජනප්‍රිය කෙනෙක් නෙමෙයි. මගේ එෆ්බී එකවුන්ට් එක හැදුවේ ලෝකා ටෙලිනාට්‍යයට වසරේ නැඟී එන නිළිය සම්මානය හම්බවෙච්ච දවසේ මොකක්ද නිවර්තනා ඔයා කරන මේ විහිළුව කියලා මට බැණලා ඩිපාර්ට්මන්ට් එකෙන් මට එෆ්බී එකවුන්ට් එකක් හදලා දුන්නා. නමුත් මම ඒකවත් හරියට මේන්ටේන් කරන්නේ නැහැ. මගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකවුන්ට් එක ගත්තොත් ගිය අවුරුද්දේ දෙසැම්බර් 27 මගේ උපන් දිනයට දාපු ෂූට් එකට පස්සේ අද වෙනකල් එක ෆොටෝ එකක්වත් දාලා නැහැ. මම ජනප්‍රියත්වය හඹායන කෙනෙක් නෙමෙයි. මිනිස්සු මාව දන්නවා. දැක්කොක් අඳුරනවා. මතක් කළොත් මතක් වෙනවා. ඉතිං එහෙම හම්බවෙන රසිකයන් මට මාර හයියක්.
දිනේෂ් විතාන


















