BREAKING NEWS
Search

පොත් වෙළෙන්දන්ගේ අලුත්ම ගසා කෑම මෙන්න – පොත් ගන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න

250

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අභ්‍යාස පොත් සහ පාසල් ද්‍රව්‍ය සඳහා නිෂ්පාදන ආයතන මගින් වෙළෙඳුන්ට ලබාදෙන අධික වට්ටම් ක්‍රමවේදය නිසා, පාසල් දරුවන්, දෙමාපියන් ඇතුළු පාරිභෝගික ජනතාව විශාල ගසා කෑමකට ලක්වන බවට ජනතාව චෝදනා කරති.

වෙළෙඳපොළේ විවිධ නම්වලින් ඇති ආයතන විසින් රටපුරා සිටින සිල්ලර වෙළෙඳුන්ව තම ග්‍රහණයට හසුකර ගැනීමේ අරමුණෙන් මෙම කූට වෙළෙඳ උපක්‍රමය ක්‍රියාත්මක කර ඇති බවද ජනතාව පෙන්වා දෙති.

අධික මිල ගණන් සහිත ඒකාධිකාරි අභ්‍යාස පොත් මිලදී ගැනීමට සිදුවීම නිසා, පාසල් දරුවන් සිටින දෙමාපියන් ඉතා අසරණ තත්ත්වයන්ට පත්වන අතර, අභ්‍යාස පොත්වලින් සිදු කරන මෙම අධික මුදල් ගසාකෑමේ මාෆියාව නිසා, දරුවන්ගේ අධ්‍යාපනයට ද මරු පහරක් එල්ලවී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

ඒකාධිකාරි ආයතන මගින් නිෂ්පාදනය කර බෙදාහරින අභ්‍යාස පොත්වල සඳහන් කර ඇති මිල හා එහි වටිනාකමින් සියයට හතළිහ හා ඊටත් එහා ගිය වට්ටම් සිල්ලර වෙළෙඳුන් සඳහා දෙනු ලබයි. මෙම අධික වට්ටම් නිසා සිල්ලර වෙළෙඳුන් විසින් මෙකී ඒකාධිකාරි ආයතන මගින් බෙදා හරිනු ලබන අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ පමණක් විකිණීමට පෙළඹී සිටිති.

සහන මිල ගණන්වලට ඇති අභ්‍යාස පොත් විකිණීම පසෙකලා තමන්ට වැඩි ලාභයක් ලබාදෙන අභ්‍යාස පොත් පමණක් විකිණීමට වෙළෙඳුන් කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවත් ජනතාව කියා සිටී.

අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ද්‍රව්‍ය පිළිබඳව රජය ඉතා සංවේදීව කටයුතු කළ යුතු බවත්, පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ මිල ගණන් පාලනය කිරීමට නොහැකි නම්, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අභ්‍යාස පොත් නිෂ්පාදනය කර සහනදායි මිල ගණන්වලට රටපුරා ඇති සෑම වෙළෙඳ සලකින්ම මිලදී ගැනීමට හැකි වෙළෙඳපොළ ක්‍රමවේදයක් සකසන ලෙසද ජනතාව ඉල්ලා සිටී.

වෙළෙඳපොළ තරගකාරීත්වයට ගැළපෙන අයුරින් නිසි ප්‍රමිතියෙන් ආකර්ෂණීය ලෙස රජයේ මුද්‍රණාලය මගින් අභ්‍යාස පොත් මුද්‍රණය කර රට පුරා බෙදා හරින්නේ නම්, පාසල් දරුවන් ඇතුළු පාරිභෝගික ජනතාවට විශාල සහනයක් ලැබෙනවා සේම රජයට විශාල ආදායමකුත් ලබා ගත හැකි බවත් ජනතාව පෙන්වා දෙති.

මෙම අභ්‍යාස පොත් මාෆියාව පිළිබඳව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාගෙන් අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ නිෂ්පාදන ආයතන මගින් වෙළෙඳුන්ට ලබාදෙන අසීමිත වට්ටම් පිළිබඳව කිසිදු පියවරක් ගත නොහැකි බවත් එය පවතින ආර්ථිකයේ ප්‍රතිඵල බවත්ය. රජය මගින් නියාමනය කිරිම සඳහා නීති සම්පාදනය කළ යුතු බවත්, රජයේ මුද්‍රණාලයේ නිෂ්පාදන වැඩි කිරීම හා තරගකාරිත්වයට එම නිෂ්පාදන එක් කිරීමට රජයට යෝජනා කළ හැකි බවත්ය.

ධම්මික සල්වතුර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *