දරු තිදෙනෙක් හැදූ මවක කාත් කවුරුත් නැතුව අවසන් ගමනේ – හොරොව්පොතානෙන් ඇසෙන හද කම්පා කරවන කතාව

952
දරුවන් තිදෙනෙකුගේ මවක වූ වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුර බාර ගැනිමට කිසිදු දරුවකු ඉදිරිපත් නොවිමේ සංවේදී පුවතක් හොරොව්පොතාන රෝහලෙන් වාර්තා වනවා.

පසුව වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මැදිහත්ව ආගමික වතාවත් සිදුකොට ඇයගේ මෘත දේහය හොරොව්පොතාන පොදු සුසාන භුමියේ භූමදානය කිරිමට පියවර ගෙන තිබෙනවා.

මිය ගිය මෙම මව ඔක්තෝම්බර් මාසයේදී හොරොව්පොතාන රජයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වූ පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට යවා තිබෙනවා.

අනතුරුව නොවැම්බර් මුල් සතියේ නැවත හොරොව්පොතාන රෝහලට එවා ඇති බවයි පැවසෙන්නේ.

දරුවන් තිදෙනෙකුගේ මවක් වුවත් අසනීප ඇය බැලීමට කිසිවකු පැමිණ නැති අතර කාත් කවුරුත් නොමැතිව ඇය රෝහල තුළ අවසන් සුසුම් හෙලා තිබෙන්නේ ඉතාමත් අවාසනාවන්ත ලෙසයි.

එම කාන්තාව අංශභාග රෝගය ඇතුලු තවත් අසනීප කිහිපයකින් පෙළී ඇති බව වාර්තා වුණා.

හොරොව්පොතාන, ලේවාසපිරිවැව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම මව මියගිය බවට දරුවන්ට දන්වා තිබුණා.

එහිදී එක දරුවකු පැමිණ මව හඳුනාගෙන සුළු වෙලාවකින් රෝහලෙන් ගොස් තිබෙනවා.

මියගිය තැනැත්තියගේ ඥාතීන් පූනෑව ප්‍රදේශයේ සිටින බවයි කියැවෙන්නේ.

මේ මව රෝහල් ගත වූ දින සිටම රෝහල් කාර්ය මණ්ඩලයේ ඇප උපස්ථාන ලබමින් දින 25ක් රෝහලේ සිට තිබෙන බව පැවසෙනවා.

මේ මරණය සම්බන්ධයෙන් දැනගත් තිරප්පන්කඩවල විහාරස්ථානයේ විහාරාධිපති අලුවිහාරයේ විමල හිමියන් මැදිහත්ව මල්ශාලාවකට මුදල් ගෙවා අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා.

ඒ අනූව රජයේ රු.18,000ක වියදමද එක්කර අවසන් කටයුතු සිදුකළ බවයි රෝහල් ආරංචිමාර්ග වාර්තා කළේ.

හොරොව්පොතාන ප්‍රාදේශීය රෝහලෙන් දිනකට රෝගීන් 500කට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා.

දෛනිකව නේවාසික රෝගීන් 35ක් පමණ ප්‍රතිකාර ලබන බවද පැවසෙනවා.

නමුත් අවාසනාවන්ත ලෙස සිදුවන මරණවලදී ශීතාගාර සහිත නිසි මෝචරියක් රෝහල සතුව නොවීමෙන් මරණ පරීක්ෂණ කටයුතු සිදුකර ගැනීමේ ගැටලු පවතින බවයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *